සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1061

ප්‍රාස්තාවික

වි. අවස්ථාවට සුදුසු ගැළපෙන ; අවස්ථානුකූල.

ප්‍රාසාදය

නා. මහල් සහිත ගොඩනැගිල්ල ; මහා මන්දිරය ; මාළිගය.

ප්‍රාසාදික

වි. දුටුවන් සිත් පහදවන ; සිත්ගන්නා සුලු ; ප්‍රාසාදනීය.

ප්‍රිය

වි. සිත් සතුටු කරවන ; රුචි කරන ; කැමැති ; ප්‍රීති සහගත ; ප්‍රේමාන්විත.
නා.ප්‍ර. රුචි වූ දෙය ; සිත් සතුටු කරවන දෙය; ඉෂ්ට වූව.

ප්‍රියංකර

වි. ප්‍රිය භාවය ඇති කරන ; (නෙත් සිත්) පිනවන ; ප්‍රිය උපදවන ; පියකරු.

ප්‍රියංවද

නා.ප්‍ර. ප්‍රිය වචන කථා කරන තැනැත්තා ; ප්‍රියවාදියා.

ප්‍රියකාමතාව

නා. අනුන් තමා කෙරෙහි ප්‍රියමනාප කරවා ගැනීමේ ආශාව ; චාටු කම්‍යතාව.

ප්‍රියජනක

වි. සතුට ගෙන දෙන ; ප්‍රිය උපදවන ; ප්‍රසාදජනක ; ප්‍රීතිදායක.

ප්‍රියදර්ශන

නා.ප්‍ර. සිත් පිනවන පෙනුම ; බැලීමට ප්‍රිය උපදවන හැඩරුව ; නෙත් සිත් ඇදෙන දැකුම්කළු දෙය.

ප්‍රියදේහිනී

නා.ප්‍ර. ප්‍රියමනාප සිරුරක් ඇති කාන්තාව ; හැඩ වැඩ දේහයක් ඇති ස්ත්‍රිය.

ප්‍රියභාෂණය

නා. සතුට උපදින කථාව ; ප්‍රිය වචනය ; ප්‍රියජනක සම්භාෂණය.

ප්‍රියමනාප

වි. හිතට සතුට උපදවන හා මන වඩන ; ප්‍රියංකර ; මනෝඥ ; ප්‍රියජනක ; චිත්තාකර්ෂණීය.

ප්‍රියයා

නා. ප්‍රිය පුද්ගලයා ; කැමැති තැනැත්තා ; රුචි වූ තැනැත්තා.

ප්‍රියවාසය

නා. ඉතා සතුටින් ගත කරන සහවාසය ; ප්‍රිය සම්භෝගය.

ප්‍රියවිප්‍රයෝග දුක්ඛය

නා. ප්‍රියයන්ගෙන් හෝ ප්‍රිය වස්තු වලින් වෙන් වීමේ දුක.

ප්‍රියාව

නා. ප්‍රිය මනාප භාර්යාව ; පිය බිරිඳ ; ප්‍රේමවන්තිය.

ප්‍රිස්ම මාලිමාව

නා. වස්තුව දකින අතර ප්‍රිස්මයක ආධාරයෙන් මාලිමාවේ පාඨාංකය කියවා ගත හැකි ලෙස තැනූ මිනින්දෝරු උපකරණය.

ප්‍රිස්මය

(පාරිභා.) නා. තුන් හුලස් වීදුරු තහඩුව ; ඍජු කෝණාකාර ඝන වස්තුව ; අක්ෂයකට සමාන්තර වූ පැති තුනක් හෝ හතරක් ඇති ස්ඵටිකය.

ප්‍රීණනය

නා. සතුටු වීම ; ප්‍රීති වීම ; සිත පිනවීම.

ප්‍රීණනය කරනවා

ක්‍රි. සතුට ඇති කරනවා ; ප්‍රීතිය ඇති කරනවා ; පිනවනවා.

ප්‍රීත්‍යුත්සවය

[ප්‍රීති + උත්සවය]
නා. ප්‍රීතිවීම සහ විනෝද වීම සඳහා පැවැත්වෙන උත්සවය ; සාදය.

ප්‍රීති

වි. සතුටු ; පිනවන ; සොම්නස්.

ප්‍රීති උදානය

නා. ප්‍රීතියෙන් ප්‍රබෝධ වී කරන ප්‍රකාශය ; සොම්නසින් ළය පිරීගිය කල පිට වෙන ප්‍රීති වාක්‍යය.

ප්‍රීති ඝෝෂාව

නා. ප්‍රීතියෙන් උද්දාම ව නගන මහ හඬ ; සොම්නසින් ඉපිල කරන ඝෝෂය.