සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1060

ප්‍රායශ් චිත්තය

නා. කළ වරද පවසා සමා කරවා ගැනීම ; පාප ශෝධනානුකූල කර්මය ; පව්වලට වන්දි ගෙවා නැති කර ගැනීම ; පව් කමාව.

ප්‍රායාසය

නා. බලවත් උත්සාහය ; දඩි ආයාසය ; මහා ප්‍රයත්නය ; දැඩි වෙහෙස.

ප්‍රායෝගික

1. වි. අත්හදා බලන ; ක්‍රියාවෙහි යොදන.
2. වැඩට යෙදිය හැකි ; නිතර භාවිතයට ගැළපෙන ; සිද්ධාන්ත නොවූ.
3. කාල්පනික නොවූ ; නිරන්තර භාවිත ; ප්‍රතිඵල ලබා ගැනීමෙහි යෙදුණු.

ප්‍රායෝගික අධ්‍යාපනය

නා. සිද්ධාන්ත වශයෙන් හැදෑරීමට නොව, භාවිතයෙහි යෙදීමට උපයෝගී කොට ගන්නා ශාස්ත්‍ර ඥානය ලැබීම ; ක්‍රියාවෙහි යොදනු ලබන ඉගෙනීම.

ප්‍රායෝගික ජ්‍යාමිතිය

(පාරිභා.) නා. සිද්ධාන්ත වශයෙන් නොව, ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම පිණිස අරමුණු කරන ලද ජ්‍යාමිතිය ; ව්‍යවහාරික ජ්‍යාමිතිය.

ප්‍රායෝගික පරීක්ෂණය

නා. යම් දැනුමක් ක්‍රියාවෙහි යෙදීම සම්බන්ධයෙන් කරන පිරික්සුම හෙවත් විභාගය.

ප්‍රායෝගික පාඨශාලාව

නා. වඩුවැඩ ආදි ප්‍රායෝගික විෂය ඉගැන්වීමට ප්‍රමුඛත්වය දී ඇති පාඨශාලාව.

ප්‍රායෝගික වැඩ

නා.ප්‍ර. අත්හදා බලන කටයුතු ; ක්‍රියාත්මක කරන කාර්යය ; භාවිත ක්‍රියාව.

ප්‍රායෝගික විද්‍යාව

(පාරිභා.) නා. භාවිත කටයුතුවල නිරත වෙමින් හදාරන ශිල්ප ශාස්ත්‍රය ; ව්‍යවහාර්ය විද්‍යාව.

ප්‍රාරබ්ධ

වි. ආරම්භ කරන ලද ; පටන් ගන්නා ලද ; ඇරඹූ.

ප්‍රාරම්භ

1. වි. පටන් ගත් ආරම්භ කළ ; ඇරඹූ.
2. පළමුවන ; ආරම්භක.

ප්‍රාරම්භක

වි. පටන් ගැනීමට අදාළ වූ ; පටන් ගැනීමට සම්බන්ධ වූ ; පටන් ගැනීම සඳහා යොදා ගත්.

ප්‍රාරම්භය

නා. ආරම්භය ; පටන් ගැනීම.

ප්‍රාර්ථනා

වි. බලාපොරොත්තු පිළිබඳ ; පැතුම හා සම්බන්ධ ; අපේක්ෂාවට අදාළ.

ප්‍රාර්ථනා ගාථා

නා.ප්‍ර. පැතුම් ගැන කියැවෙන ගාථා ; කුසල් කොට තමා අභිමත දෙයක් ප්‍රාර්ථනා කරන ගාථා.

ප්‍රාර්ථනාව

නා. පැතූම ; බලාපොරොත්තුව ; අපේක්ෂාව ; ප්‍රාර්ථනය.

ප්‍රාර්ථනීය

වි. පැතිය යුතු වූ ; බලාපොරොත්තු විය යුතු ; පැතීමට සුදුසු ; පතන ලද.

ප්‍රාවරණය

1. නා. පොරෝණය ; වැස්ම.
2. (පාරිභා.) මෘද්වංගීන්ගේ ශරීරය වසා ඇති සම් වැදැල්ල.
3. (පාරිභා.) පෘෂ්ඨ වංශීන්ගේ මොළයේ මස්තිෂ්ක අර්ධගෝලවල බිත්තියේ කොටසක්.

ප්‍රාවරය

1. නා. වැස්ම ; කොපුව ; කවරය.
2. ගස් ආදිය ආරක්ෂාව සඳහා වටකොට බඳින කොරටුව.
3. ශාක ඵල වර්ගීකරණයට අදාළ කපු, බණ්ඩක්කා ආදිය ඇතුළත් ප්‍රභේද විශේෂයක්.
4. ශාරීරික අවයවයක් වසා ඇති සිවියක් වැනි වැස්ම.
5. පහසුවෙන් ගිලීම සඳහා රසායනික ඖෂධ බහාලන කොපුවක්.

ප්‍රාවෘට්

නා.ප්‍ර. වර්ෂා කාලය ; වැහි කාලය ; වර්ෂා සෘතුව.

ප්‍රාවෘත

වි. වසන ලද ; පොරවන ලද ; ආවරණය කරන ලද.

ප්‍රාවේණික

වි. ප්‍රවේණිය හා ආශ්‍රිත ; පරපුර හා සම්බන්ධ ; පරපුරෙන් පැවත එන ; උරුම වූ.

ප්‍රාසංගික

1. වි. අහම්බෙන් සිදුවන ; ඉබේ සිදුවන.
2. වෙනස් කළ නොහැකි ; අභේද්‍ය.
3. සහජ ; ස්වාභාවික.

ප්‍රාසය

නා. සමාන ශබ්ද ආදිය නැවත නැවත යෙදීම ; අනුප්‍රාසය.