සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1074

පාලකයා

නා. පාලනය කරන්නා ; ආණ්ඩු කරන්නා.

පාලන

වි. ආරක්ෂා කරන ; රැකබලා ගන්නා ; පරිපාලනය කරන ; හසුරුවන.
1. නා.ප්‍ර. ආරක්ෂා කිරීම ; රැකබලා ගැනීම ; පරිපාලනය.
2. හැසිරවීම ; මෙහෙයීම.

පාලන කොට්ඨාසය

නා. පරිපාලනයට අයත් වන ප්‍රදේශය ; රාජ්‍ය කාර්යාංශයක නීතිරීතිවලට අවශ්‍ය වැයික්කිය.

පාලන තන්ත්‍රය

නා. ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් හෝ පවත්වාගෙන යෑමට උපයෝගී වන රාජ්‍ය නිලධාරි පන්තිය හා රාජ්‍ය ආයතන සමූහය.

පාලම

නා.ප්‍ර. ගංගා ආදියේ දෙගොඩ සම්බන්ධ කොට සාදා ඇති මං කොටස ; සේතුව ; වාහන බහුල මහා පාරක් උඩින් එක්පැත්තක සිට අනික් පැත්තට යාම සඳහා සාදා ඇති මාර්ගය.

පාලම් නගරය

(පාරිභා.) නා. ගංගා විල් ආදියෙහි දිය මතුපිට පාවෙන සැටියෙන් ගොඩ නඟන නගර.

පාලම් පාරුව

නා. කරත්ත හා වෙනත් රථවාහන ගගින් එගොඩ මෙගොඩ කරන පාරුව ; පාරු පාලම.

පාල් ලාකඩ

(පාරිභා.) නා.ප්‍ර. ශුද්ධ කොටගත් ලාක්ෂා ; ශුද්ධ ලාකඩ ; ශෙලැක්.

පාලි

1. නා.ප්‍ර. ඉන්දු-ආර්ය ගණයට අයත් මාගධි බසට ඉතා කිට්ටු සම්බන්ධකමක් ඇති භාෂාවක් ; ථේරවාදි බුදුදහම ඇතුළත් භාෂාව.
2. බුද්ධ භාෂිතය ; ත්‍රිපිටක ධර්මය.
3. පේළිය ; පඞ්ක්තිය ; පෙළ.

පාලිකය

(පාරිභා.) නා. ඇඟිලි පුරුක.

පාලිකාව

නා. රක්නා තැනැත්තිය ; රැකබලා ගන්නිය.

පාලිත

1. වි. හික්මුණු ; දැමුණු.
2. පාලනය කරන ලද ; මැඩපවත්වන ලද.

පාලිත සමාගම

නා. (පාරිභා.) සියයට 50කට වැඩියෙන් එහි නිකුත් කළ ප්‍රාග්ධන කොටස් හිමිකර ගත් වෙනත් සමාගමක් විසින් පාලනය කරනු ලබන සමාගම.

පාලිතය

නා. පාලනය කරනු ලබන්න ; යටත් රට ; යටත් විජිතය.

පාලිතයා

නා. පාලනය කරනු ලබන්නා ; යටත්වැසියා.

පාලිය

1. නා. කන්පෙත්ත.
2. අවියක මුවහත.
3. ආකාරය ; විලාසය ; අන්දම.
4. පාලිභාෂාව.
5. පේළිය ; පංක්තිය.
6. සන්නිය ; යකකු හා සම්බන්ධ නැටුමක්.

පාවකය

නා. ගින්න ; අග්නිය.

පාවර

1. නා. ගොයම් මඩින ස්ථානය ; කමත ; කමත්පල ; කලවිට.
2. එක්වර පෑගීමට තරම් වූ ගොයම ; එක් වරකට මැඩලන ගොයම් ප්‍රමාණය.
3. ගොයම පාගා ලැබෙන වී.

පාවහන්

නා.ප්‍ර. සෙරෙප්පුව ; සපත්තුව ; පාදුකාව ; මිරිවැඩිය.

පාවා දෙනවා

1. ක්‍රි. භාරදෙනවා ; හිමිකර දෙනවා.
2. විවාහ කර දෙනවා ; සරණ පාවා දෙනවා.
3. විනාශයක් සඳහා සතුරන්ට (රහසේ) භාර දෙනවා.

පාවාගන්නවා

1. ක්‍රි. භාර ගන්නවා ; පිළිගන්නවා ; වගකීම තමා වෙතට ගන්නවා.
2. (ස්ත්‍රියක) සරණ පාවා ගන්නවා ; විවාහ කර ගන්නවා ; අඹුකමට ගන්නවා.

පාවාඩය

1. නා. ගෞරවයක් වශයෙන් පාගාගෙන ඒ මත යාම සඳහා එළන රෙද්ද ; පලස හෝ කලාලය ; පියවිළිය.
2. පූජාසනයක් හෝ මේසයක් වැනි තැනක එළන ඇතිරිය.

පාවාදීම

නා. (නීති.) විකිණීම; අයිතිය මාරු කිරීම ; හිමිකර දීම ; පැවරීම ; (තරුණියක්) විවාහ කරදීම ; සරණ පාවා දීම.

පාවිච්චිය

1. නා. යමක් පරිහරණය කිරීම ; ප්‍රයෝජනයට ගැනීම ; භාවිතය ; පරිභෝගය.
2. රෝගයක් සඳහා අපථ්‍යය ආහාරපාන විහරණ ආදියෙන් වැලැකී සිටීම ; ලෙඩට පරෙස්සම් වීම.