සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1148

බලකාමය

නා. බලය ලබා ගැනීමට ඇති ආශාව.

බලකාය

1. නා.ප්‍ර. හමුදා සේනාංකය.
2. යුද්ධ සේනාව.

බලකාරකය

නා. ශරීර ශක්තිය සහ ධෛර්යය වැඩි කරන ඖෂධය ; ශක්තිජනක ආහාරය.

බලකාරයා

1. නා. බලය ඇති තැනැත්තා ; වගකීම ඇත්තා ; නිලධාරියා.
2. පුළුවන්කාරයා ; හයිකාරයා ; දාමරිකයා.
3. බූදලයක් පාලනය කිරීමේ බලය ඇති තැනැත්තා ; උරුමක්කාරයා ; හිමියා.

බලකොටුව

1. නා. සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීම සඳහාත්, සතුරාට පහරදීමේ මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනීම සඳහා ඉදි කරන ලද රක්ෂිත කඳවුර.
2. ආරක්ෂිත ස්ථානය ; බලය පිළිබඳ මූලස්ථානය.

බලගතු

1. වි. තදබල ; දැඩි ; දෘඪ.
2. බලසම්පන්න ; බලවත් ; ශක්ති සම්පන්න ; ප්‍රබල.
3. සුව කිරීමට අපහසු ; දුස්සාධ්‍ය ; උග්‍ර.
4. මහත් ; සුවිසල් ; නොමඳ ; අධික.
5. ප්‍රතිඵලදායී ; බෙහෙවින් සාර්ථක ; උසස් ප්‍රතිඵල ගෙන දෙන.
6. යටත් කළ නොහැකි; අනභිභවනීය.
7. බරපතළ ; බැරෑරුම් ; භාරධූර.
8. ක්‍රියාශීලි; කාර්යශූර ; ප්‍රතාපවත්.

බලටුව

1. නා. කුඩා කඳක් හෝ අත්තක් දෙකට බෙදී ගිය ස්ථානය.
2. කෙක්ක ; කෙක්කක් වශයෙන් යොදාගත හැකි ලීය.

බලතර

1. වි. අධික බලයෙන් යුතු ; වැඩි බලයක් තිබෙන ; ශක්ති සම්පන්න.
2. තද ; දැඩි ; මහත්.

බලතල

නා.ප්‍ර. නීතියෙන් අයිති වන ක්‍රියාකාරි බලය ; රාජකාරිය නිසා පැවරෙන අයිතිය.

බලතා

1. නා. රාජකීය යුද්ධ හමුදාවේ නිලධාරියා ; සේනා ප්‍රධානයා ; බල මුදලියා.
2. රජවාසල විශ්වාසී සේවකයා ; රජ මැදුරේ මුරභටයා ; රජුගේ අභ්‍යන්තර සේවකයා.

බලධරයා

නා. කිසියම් කාර්යයක් සඳහා විශේෂ අධිකාරි බලය ලබා සිටින තැනැත්තා.

බලධාරි

වි. බලය දරන ; බලය ඇති ; බලවත්.

බලධාරියා

නා. බලය ඇත්තා ; බලසම්පන්නයා ; අධිකාරි බලය ඇත්තා.

බලනවා

1. ක්‍රි. ඇසට අසු කරනවා ; නරඹනවා.
2. විමසනවා ; පිරික්සනවා.
3. කිසියම් පැත්තකට හැරී යනවා ; ගමන් කරනවා ; අභිමුඛ වෙනවා.
4. කියවනවා ; හදාරනවා.
5. දැන ගන්නවා ; වටහා ගන්නවා.
6. කිසිවක් බලාපොරොත්තුවෙන් සිටිනවා.
7. රැක බලා ගන්නවා ; ආරක්ෂා කරනවා ; මුර කරනවා.
8. සසඳනවා ; ගළපනවා.
9. (යමක් සිදුවන්නට) ඉඩ ඇති වෙනවා ; සූදානම් වෙනවා ; මාන බලනවා ; සැරසෙනවා.
10. පාලනය කරනවා ; ආණ්ඩු කරනවා.

බලන්සය

නා. දුනු සූත්‍ර මගින් ක්‍රියා කරන තරාදිය ; දුනු තරාදිය.

බලපත්‍රය

නා. කිසියම් කාර්යයකට අවසර දෙමින් නිකුත් කරන ලද ලියවිල්ල ; අවසර පත්‍රය ; බල කඩදාසිය ; ප්‍රවේශ පත්‍රය.

බලපානවා

1. ක්‍රි. බලය පෙන්වනවා ; ශක්තිය ප්‍රදර්ශනය කරනවා.
2. ආභාසය ගෙන දෙනවා ; සිද්ධියකට හේතු සාධක වෙනවා ; බලපථයට අසු කර ගන්නවා.
3. බල කරනවා ; සිතට කාවදිනවා ; අවධාරණය කරනවා.

බලය

නා. බල බ.

බලවත

නා. බලවත් බව ; ශක්තිය.

බලවත්

වි. බලය ඇති ; ශක්තිමත් ; දැඩි ; තද ; මහත් ; විශාල ; තදබල ; අධික.

බලවතා

නා. බලය ඇත්තා ; බලසම්පන්නයා ; ශක්ති සම්පන්නයා.

බල්බිලය

(පාරිභා.) නා. පොළොව යට වැඩෙන බල්බාකාර කඳන්වල විශේෂ කුඩා අංකුරය.

බල්ලා

1. නා. ගේ දොර රැක බලා ගැනීම දඩයම හා සුරතලය ආදිය සඳහා ඇති කරනු ලබන, මාංශ භක්ෂක සිවුපාවා ; සුනඛයා ; කුක්කුරයා.
2. කරත්තයක රෝද පස්සට යා නොදෙන සේ එහි පස්සෙන් එල්ලා ගෙන යන ලී කැබැල්ල.
3. (කථා.) බයිසිකල් ආදියේ ජවරෝද එක අතකට පමණක් කැරකෙන සේ යොදන කුඩා අඩය.

බලාක

නා.ප්‍ර. කොකා.