සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1147

බරණිය

1. නා. (මැටියෙන් හෝ වීදුරුවලින් තැනූ) කුඩා කටක් ඇති කඳ මහත විශාල භාජන විශේෂයක්; බුජම.
2. පීප්පය.

බරනෙත

නා. ඇස් දොළසක් ඇත්තා ; කතරගම දෙවියෝ ; කඳ කුමරු.

බරපතළ

1. වි. සැහැල්ලු නොවන ; බරින් වැඩි.
2. බැරෑරුම් ; ගම්භීර ; භාරධූර.
3. අධික ; මහත් ; විශාල.
4. කිරීමට අමාරු ; දුෂ්කර.
5. වැදගත් ; ප්‍රමුඛත්වය ලැබිය යුතු.
6. සුව කිරීම අපහසු ; දුස්සාධ්‍ය.

බරම්

නා.ප්‍ර. මහා බ්‍රහ්මයා ; මහබඹු.

බරවා

නා.ප්‍ර. බරවා පණුවා ඇතුළුවීම නිසා වසාවාහිනී අවහිර වීමෙන් කකුල් ඉදිමීම ආදිය ලක්ෂණ කොට ඇති රෝගය ; ශ්ලීපද රෝගය.

බරවෙනවා

1. ක්‍රි. බර දැනෙනවා ; බරින් පෙළෙනවා.
2. යමක් බර නිසා පාත්වනවා ; බරින් නැමෙනවා ; පැත්තකට ඇලවෙනවා ; ඇල ගහනවා.
3. පක්ෂග්‍රාහි වෙනවා.
4. බරපතළ වෙනවා ; බැරෑරුම් වනවා.
5. ශරීරාංගවල බර ගතියක් දැනෙනවා ; සැහැල්ලු බවින් තොරවෙනවා.
6. මලමුත්‍ර පහවීමට ආසන්න වෙනවා.

බර්ගර්

නා. යුරෝපීය මනුෂ්‍ය වර්ගයක් ; ලංසි ජාතිකයා.

බරාඳය

නා. ගෙයක ඉදිරි කොටස ; ඉස්තෝප්පුව ; ආලින්දය.

බරු

වි. බර සහිත ; බරින් යුක්ත ; බර වූ.

බරු ගහනවා

1. ක්‍රි. නියපොතු වලින් හූරනවා ; නියවලින් ඉරනවා ; පහුරු ගානවා.
2. ගහක් කොළක් සොලවා ගෙඩි වැටෙන්නට සලස්වනවා.

බරුව

1. නා. බර සහිත දෙය ; බරවන්නට තබන හෝ එල්ලන දෙය ; බරින් යුක්ත වූව.
2. නැව් ආදී යාත්‍රා නවත්වා තැබීම සඳහා දිය පත්ලට බස්සවන බර ඇති දෙය ; නැංගුරම.
3. යාන්ත්‍රික කොටසක බර දරා සිටින අවයවය.

බරුවා

නා. සැමියා ; ස්වාමිපුරුෂයා ; වල්ලභයා.

බල

1. වි. ශක්තියෙන් යුතු ; දිරිමත් ; වීර්යවන්ත.
2. අධිකාර බලය සහිත ; වගකීම දරන ; බලය පවරන.
1. නා.ප්‍ර. සවිය ; ශක්තිය ; හැකියාව ; කුශලතාව ; කෞශල්‍යය.
2. අනුභාව ; සෘද්ධිය ; දිව්‍යමය ශක්තිය.
3. අධිකාරය ; ආධිපත්‍යය.
4. පරාක්‍රමය ; වික්‍රමය ; තේජස.
5. සැපත ; සම්පත්තිය ; ධනය.
6. (ඖෂධ, මන්ත්‍ර ආදියක) ගුණය ; ඵලදායී භාවය.
7. රජකුගේ සේනා ශක්තිය ; අයිතිය ; වරප්‍රසාදය.
8. දිරිය ; ධෛර්යය.
9. රුකුල ; මුක්කුව.
10. සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් සෑදෙන ගුණිතය.
11. ගසක අතු බෙදී යන සන්ධිස්ථානය ; දෙබලය ; කරුව ; ගුරු වෙළප.
12. බෙණය ; ගුහාව ; ලෙණ ; බිලය ; ගස් සිදුර.

බල කඩදාසිය

නා. බලය පවරන ලියවිල්ල ; බලපත්‍රය.

බල කණුව

1. නා. බරක් දරා සිටින ප්‍රධාන කණුව ; ඉන්ද්‍රඛීලය.
2. රඳා සිටීමට ආධාරයක් වශයෙන් සිටවූ කණුව ; රුකුල ; මුක්කුව.
3. (රූඪි.) බලවත් ආධාරකාරයා ; සංවිධානයක ප්‍රමුඛ සාමාජිකයා.

බල කරනවා

1. ක්‍රි. තදින් කියා සිටිනවා ; අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.
2. තර්ජනයෙන් මෙහෙයවනවා ; බලහත්කාරයෙන් පොලඹවනවා.

බල කේන්ද්‍රය

(පාරිභා.) නා. ශක්තිය විහිදෙන මධ්‍ය ස්ථානය.

බල දශකය

නා. මිනිසාගේ පරමායුෂ අවුරුදු සියය සේ සලකා එය දහයේ කොටස්වලට බෙදූ කල ලැබෙන සතර වැනි කොටස ; තිහටත් හතළිහටත් අතර දස අවුරුදු කාලය.

බල දුර්ගය

නා. සේනා ශක්තියත්, ආරක්ෂා සංවිධානයත් නිසා සතුරන්ට යටත් කරගැනීම දුෂ්කර බලස්ථානය ; බලකොටුව.

බල නම

නා. නිතර පාවිච්චි කරනු ලබන නම.

බල නහරය

1. නා. ඇට සහ මස් පිඬු සම්බන්ධ කරන පේශි විශේෂයක් ; කණ්ඩරාව ; සන්ධි බන්ධනය.
2. ප්‍රධාන ධමනිය ; නාඩිය.
3. ස්නායුව.

බල පරාක්‍රමය

1. නා. ශක්තිය ; වීර්යය ; බලසම්පන්න භාවය.
2. හපන්කම ; දක්ෂකම ; කෞශල්‍යය.
3. තේජස ; එඩිය ; වික්‍රමය.

බලඔරුව

නා. බල මාලුන් අල්ලා ගැනීම සඳහා ඈත මුහුදට යන විශාල ඔරු වර්ගයක්.

බලකරය

1. නා. බලය ඇති කරවන්නා ; ශක්ති ජනකය.
2. බලය යෙදීම ; බලහත්කාරය ; බලය පාවිච්චි කිරීම ; බල කිරීම.
3. ඉඩමක අයිතිවාසිකම තාවකාලිකව පවරා දෙන ලේඛනය.