සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1149

බලාගාරය

[බල + ආගාරය]
නා. බෙදාහැරීම පිණිස විද්‍යුත් බලය නිපදවන ස්ථානය.

බලාවැළ

නා.ප්‍ර. පියාඹන කොකුන් පෙළ ; කොක් වැළ ; බලාකාවලිය.

බලි

1. වි. බලය ඇති ; බලවත්.
2. මහත් ; විශාල.
3. මෝඩ ; බාල.

බලි අරිනවා

(කථා.) ක්‍රි. බලි යාග පවත්වනවා.

බලි ඇදුරා

නා. බලි යාග කරන පුද්ගලයා.

බලි කන්කාරිය

නා. බලි යාගය ; බලි තොවිලය.

බලි පිදේනි

නා.ප්‍ර. දේව, යක්ෂ ආදීන්ට කරන පූජාව.

බලි භෝජනය

නා. බලි පුද පිණිස පිළියෙල කරන හත්මාලු ආදී කෑම.

බලි යාගය

නා. පිදේනි බලි රූප ආදිය ඇති ව කරන ශාන්ති කර්මය ; බලි තොවිලය.

බලිකර්මාන්තය

1. නා. (දේව, යක්ෂ, භූත ආදින්ට) පූජා පිණිස කරන ශාන්ති කර්ම.
2. අයබදු එකතු කිරීමේ කාර්යය.

බලිබිලි

නා.ප්‍ර. දේව පූජා, යාග කිරීම් ආදී ක්‍රියාවලට අවශ්‍ය දෑ.

බලිය

1. නා. දේව, යක්ෂ, භූත, ගුහාදීන්ට පිරිනමන පූජා විශේෂය.
2. යක්ෂ, භූතාදීන් සඳහා කරන යාතු කර්මය ; ශාන්ති කර්මය.
3. ශාන්තිකර්ම සඳහා අඹනු ලබන දේව, යක්ෂ, භූතාදීන්ගේ රූපය.
4. ශාන්ති කර්ම සඳහා මල්, මැටි, ගොක් සැරසිලි ආදියෙන් පිළියෙල කරනු ලබන පිදවිල්ල.
5. බද්ද ; කප්පම ; දීමනාව.
6. සම මතුපිට ඇතිවන රැල්ල.
7. යුද්ධය.

බලිවර්දයා

නා. ගොනා ; ගවයා ; වෘෂභයා.

බලු කැණහිලා

නා. නරියා ; හිවලා ; සිගාලයා.

බලු ගැති

වි. ඉතා යටහත් පහත්; අත්‍යන්තයෙන් අවනත.

බලුගැත්තා

නා. කීකරු දාසයා ; යටහත් පහත් සේවකයා ; භක්තිමත් රාජපාක්ෂිකයා.

බලුතපස

නා. බල්ලකු සේ කෑම් බීම් හෙවීම් ආදිය කරමින් පුරන තවුස්කම ; බලුතව.

බලෝත්පාදක

[බල + උත්පාදක]
වි. අමුතුවෙන් බලයක් ඇති කරන ; බලය නිෂ්පාදනය කරන.

බව

1. නා.ප්‍ර. උපත මරණය වශයෙන් නොකඩවා සත්වයකුට ඇති වන ප්‍රවෘත්ති පරම්පරාව ; සංසාරය ; භවය.
2. කාරණය ; ; තත්වය ස්වභාවය.
3. පුවත ; ප්‍රවෘත්තිය.

බවකතර

නා. සංසාර නමැති දුර්ග මාර්ගය ; භවය නමැති කාන්තාරය.

බවග

[බව + අග]
නා. ලෝක ධාතුවෙහි කෙළවර ; විශ්වයෙහි පර්යන්තය ; අකනිටා බඹලොව.

බවණ

නා.ප්‍ර. සසර නමැති මුහුද ; බව සයුර.

බවදුක

නා.ප්‍ර. සසර උපත නිසා සතුන් විඳින කටුක විපාක රාශිය ; භවයෙහි පවත්නා දුක.

බවන

1. නා.ප්‍ර. භවන ; වාසස්ථානය ; විමානය.
2. ලොව ; ලෝකය.
1. වි. භය කරන්නා වූ ; බිය ඇති කරන්නා වූ ; භයජනක.
2. භාවනා කරන ; බවුන් වඩන.