සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1150

බවුතය

නා. ඊයම් යොදා ලෝහ පාස්සන උපකරණය.

බවුතීස්මය

නා. යමකු ක්‍රිස්තියානි සභාවට ඇතුළත් කර ගැනීමේ දී පැන් වත් කිරීමෙන් කරන සත් කර්මය ; ප්‍රසාද ස්නානය.

බවුන්

නා.ප්‍ර. කසිණ ආදී සුදුසු අරමුණක සිත පිහිටුවීම ; භාවනාව.

බස

1. නා. වචනය ; වදන ; තෙපුල.
2. කීම ; ප්‍රකාශය ; පැවැසීම.
3. එක් එක් ජනතාවගේ වාක්කෝෂය සහ එය යොදන පිළිවෙල ; අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ; භාෂාව.
4. වචනයට අධිපති ; දෙව්දුව ; සරස්වතිය.
5. හිරු රැස් ; සූර්යාලෝකය.

බසදෙනවා

1. ක්‍රි. විවාහ යෝජනාවක් පිළිගන්නවා ; විවාහ වෙමැයි කැමැත්ත පළ කරනවා ; වචනයෙන් විවාහ ගිවිස ගන්නවා ; බහ දෙනවා.
2. කථා කිරීමේ හැකියාව දෙනවා.

බස්කම්

1. නා.ප්‍ර. අවවාදය.
2. විවාදය.
3. වචනයෙන් නොකියා අංග චලනයෙන් අදහස් දැක්වීම.
4. කැමැත්ත.

බස්තම

නා. සැරයටිය ; හැරමිටිය.

බස්නය

1. නා. කලක් වළලා හෝ අව්වේ තබා නියමිත දින ගණනක් ගිය පසු තබා සාදා ගන්නා ඖෂධීය පාන විශේෂයක්.
2. ඖෂධීය චූර්ණ විශේෂයක්.

බස්නායක

නා.ප්‍ර. දේවාලයක ප්‍රධාන ගිහි නිලධාරියා ; දේවාලය බාරකාරයා බස්නායක නිලමේ.

බස්නාව

නා. දිය බැස යන මඟ ; ජලය බැස යන ඇළ ; කඳුරැල්ල.

බස්නාහිර

නා. ඉර බැස යන පැත්ත ; බටහිර දිසාව.

බස්ම

නා.ප්‍ර. දැව හෝ ඖෂධ සංයෝග දැවීමෙන් ලබාගන්නා අළු ; භස්ම බ.

බස්මල

නා. භාෂාවක වචන මාලාව ; අකාරාදිය ; ශබ්දකෝෂය.

බස්වහර

නා. බස් හසුරුවන ආකාරය ; භාෂා ව්‍යවහාරය.

බස්සා

නා. දිවා කාලයේදී සැඟවී සිට රාත්‍රී කාලයේ දී ගොදුරු සොයා හැසිරෙන පක්ෂියෙක්.

බසිනවා

1. ක්‍රි. උඩක සිට පහතට ගමන් කරනවා ; යාන වාහන ආදියකින් ඉවත් ව බිමට එනවා ; අවරෝහණය වෙනවා.
2. පහතට වැටෙනවා ; පිරිහෙනවා ; අඩුවෙනවා ; යටට යනවා.
3. වැඩක් පටන් ගන්නවා ; අරඹනවා ; ආරම්භ කරනවා.
5. අවරට පත් වෙනවා ; අස්ත වෙනවා ; අස්තංගත වෙනවා.
6. ඉවතට ගලා යනවා ; කාන්දු වෙනවා.

බහ

1. නා. කථා කිරීම ; කථනය ; වචනය ; බස ; භාෂාව.
2. (විවාහ ආදියකට කරන) පොරොන්දුව ; ගිවිසුම.

බහතෝරනවා

ක්‍රි. භාෂාව කථා කිරිම අරඹනවා ; ළදරුවකු පළමුවෙන් කථා කිරීමට තැත් දරනවා.

බහදුරු

වි. භද්‍ර ; යහපත් ; උතුම්.

බහදුරුකළය

නා. භද්‍ර ඝටය ; පුන්කලස.

බහනවා

1. ක්‍රි. ඇතුළට දමනවා; රුවනවා ; ප්‍රක්ෂේප කරනවා.
2. (බිමට) පහත් කරනවා ; (උඩක සිට) බානවා ; ඉවත් කරනවා.
3. (හිසකෙස්) දැලි රැවුල් ආදිය කපනවා.

බහන්

නා.ප්‍ර. ලණුව ; වැල ; රැහැන ; බාන ; පටිය.

බහල

1. වි. දැඩි ; ඝන.
2. බොහෝ ; අධික.

බහසුරු

නා.ප්‍ර. බාහු බලයෙන් ශූර වූ සිංහයා.