සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1151

බහ්වර්ථ

[බහු + අර්ථ]
නා. අදහස් සමූහය ; තේරුම් රැස.

බහ්වස්‍රය

(පාරිභා.) නා. සරල රේඛා හතරකට වැඩි ගණනකින් මායිම් කළ රූපය ; කෝන හතරකට වඩා පිහිටි ක්ෂේත්‍රය.

බහි

නි. පිටත ; බැහැර.

බහිනකලාව

(කථා.) නා. 1. (යසඉසුරෙන්) පිරිහීම ; පරිහානිය ඇතිවන අවස්ථාව ; අවනති කාලය.
2. (ජ්‍යෝති.) සිරුරෙහි පිහිටන කලාව පහතට බැස යාම.

බහිනවා

1. ක්‍රි. උඩකින් පහළට යනවා ; පල්ලමකට බසිනවා.
2. ඉර සඳ ආදී වස්තු අස්තයට යනවා.

බහිරවයා

නා. භූමිය, නිධානය ආදියට අධිගෘහිත අෂ්ට-ප්‍රභේද භූත විශේෂයක්.

බහිස්‍රාවය

නා. ජීවීන්ගේ ශරීරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය.

බහීර්ගෝලය

නා. උෂ්ණත්වය පදනම් කොටගෙන වායුගෝලය බෙදා ඇති ස්තර අතරින් එකක්; වායුගෝලයේ ඉහළින්ම පිහිටි ස්තරයක්.

බහු

1. වි. බොහෝ වූ ; විවිධාකාර.
2. විහිළු ; විකට ; විකාර.

බහු භක්ෂ

(පාරිභා.) වි. ධාරක සෛල කීපයක් ම එක් විට කා විනාශ කරන ; ධාරක සෛල ගණනාවකට එක විට හානි පමුණුවන.

බහු සම්මතය

නා. බොහෝ දෙනා විසින් පිළිගන්නා ලද මත හෝ පිළිවෙල.

බහුඅස්‍රය

නා. සෘජු රේඛා හතරකට වැඩි ගණනක් සම්බන්ධවීමෙන් සෑදෙන රූපය.

බහුබුද්ධිය

නා. බොහෝ නුවණ ; අධික බුද්ධිය.

බහුබූත

නා.ප්‍ර. ගත යුත්තක් නැති විකාර කථා හෝ වැඩ.

බහුබූතයා

නා. ජන නාට්‍ය නාඩගම් ආදියෙහි එන විකට චරිතය.

බහුභක්ෂක

(පාරිභා.) වි. බොහෝ දේ කෑමෙන් යැපෙන.

බහුභාර්යා සේවනය

නා. එක් පුරුෂයකු එක ම කාල සීමාවේ දී භාර්යාවන් කීප දෙනකු ඇතිව විසීම ; බොහෝ භාර්යාවන් පරිහරණය.

බහුමණි පත්‍ර

(පාරිභා.) වි. එකිනෙක සම්බන්ධ නොවූ මණිපත්‍ර සහිත මණියෙන් යුතු.

බහුමතය

නා. බොහෝ දෙනාගේ අදහස ; සාමුහික කැමැත්ත.

බහුමාන

වි. ගෞරවාදරය පිළිබඳ වූ.

බහුමානය

නා. කයින් මනසින් දක්වන ආචාරසම්පන්න ගෞරවාන්විත සැලකීම ; බුහුමන ; ගෞරවාදරය.

බහුයෝගී

(පාරිභා.) වි. පුමංගී, ජායාංගී යන ද්විලිංගික මල් එකම ශාකයේ පවත්නා.

බහුරි

නා.ප්‍ර. වේගවත් ව ශරීරය කරකැවීම හා සම්බන්ධ නර්තන විලාසය.

බහුරු

1. නා.ප්‍ර. හාස්‍යය හෝ බිය උපදවන රූප ; වෙස්මුහුණු.
2. (කථා.) නොයෙක් මාදිලියේ රටාවෙන් හැඩවැඩ වූ පැදුර.