සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1152

බහුරූප

1. නා.ප්‍ර. නර්තන විලාශයක් ; එකවර බොහෝ රූප දැක්වෙන සෙ කරකැවෙමින් කරන නැටුම.
2. (පාරිභා.) ජීවියකුගේ ජීවන චක්‍රයේ වෙනස් වෙනස් අවස්ථාවල දී ව්‍යුහමය වශයෙන් පවත්නා විවිධ රූපාකාර හැඩ නිල.
3. (රසා.) එක ම මූලද්‍රව්‍යය භෞතික රසායනික ආදී ලක්ෂණවලින් වෙනස් හැඩ දෙකක් හෝ කීපයක් ලෙස පැවැත්ම.

බහුරූපී

(පාරිභා.) වි. ජීවියකුගේ විවිධ ජීවන චක්‍රයෙහි විවිධ අවස්ථාවල ස්වකීය ව්‍යුහයෙහි වෙනස් වෙනස් ස්වභාව දක්වන සුලු ; නොයෙක් හැඩ-නිල පෙන්වන.

බහුල

වි. වැඩි ; මඳ නොවූ ; සුලභ වූ.

බහුලතාව

නා. බොහෝ වූ බව ; වැඩි බව.

බහුවචනය

නා. (ව්‍යාක.) බොහෝ දෙනකු හෝ බොහෝ දේ අඟවන පදය ; ඒක වචනය යන්නට විරුද්ධ පදය.

බහුශ්‍රැත

වි. බොහෝ සේ පත පොත කියවූ ; විද්වත් ; බෙහෝ ඇසූ පිරූ තැන් ඇති.

බහුසම්මත

වි. බොහෝ දෙනා විසින් අනුමත කරන ලද.

බළ

1. නා.ප්‍ර. යුද සෙබළා.
2. ගසක ප්‍රධාන කඳක්, අත්තක් බෙදීගිය තැන ; දෙබළය.

බළඇණිය

නා. යුද සෙබළ කණ්ඩායම ; පාබල සේනා ඛණ්ඩය.

බළකැන්

නා.ප්‍ර. භට හමුදාව ; සෙබළ සමූහය.

බළකොටුව

නා. සතුරු යුදහමුදාවකින් අනතුරු නොවන පරිදි පවුරු අගල් ආදිය සහිත ව ආරක්ෂා සංවිධාන යොදා ඇති ස්ථානය.

බළල්කාව

නා. ගෙයක බිත්තියේ යට ලීයටත් වහළටත් අතර ඇති (සාමාන්‍යයෙන් බළලුන් රිංගන) හිස් පෙදෙස ; බළල්වාය.

බ්ලාස්ටකීලය

නා. මෙඩූසාකාර අංකුර හටගැන්වීමට මුඛයත්, ග්‍රාහිකාවත් නැති, පිරිහුණු ප්‍රජනනේන්ද්‍රිය ඇති සමහර හයිඩ්‍රාරූපීන්ගේ මත සිටින ජීවාංගයෙක්.

බ්ලාස්ටිමාව

නා. බිත්තරයක ප්‍රාක්ප්ලාස්මික කොටස ; සුදු මදය වැඩෙන්නටත්, වෙන් කරන්නටත් හැකියාව ඇති කැටි වූ ප්‍රාක්ප්ලාස්මය පුංජය.

බ්ලාස්ටුලාව

නා. මුල් අවස්ථාවේ බහු-සෛලික කලයේ ලක්ෂණ ඇති කුහර සහිත ගෝලාකාර කලලය ; අර්බුද ගර්භය.

බ්ලේඩ් තලය

නා. දැළි රැවුල් ගෑමේ උපකරණයට සවි කරන සියුම් මුවහත ඇති වානේ තලය.

බ්ලොටිං කඩදාසිය

නා. තෙත් පොවන කඩදාසිය ; තීන්ත පෑනෙන් ලිවීමෙන් පසු තීන්ත ඉක්මනින් බොඳ නොවී වියළා ගැනීමට හෝ රසායනික ද්‍රව පෙරිමට භාවිත කරන ලිහිල් කඩදාසි විශේෂය.

බ්‍යඤ්ජන

1. නා.ප්‍ර. ශබ්දාර්ථ ප්‍රකට කරන, ගාත්‍රාක්ෂරය ; ව්‍යඤ්ජනාක්ෂරය.
2. අර්ථය හෙළිදරවු කිරීම.
3. ආහාර සඳහා ගනු ලබන මාලුව.
4. (අභි.) අභිධර්මයෙහි එන ප්‍රඥප්තියක් ; ශබ්ද ශක්ති ප්‍රභේදයක්; අර්ථය ප්‍රකාශ කරන වාක්‍යය.
5. ලකුණ.
6. රහස් අවයවය.

බ්‍යාමප්‍රභා

නා.ප්‍ර. බුද්ධ ශරීරය වටා බඹයක් පමණ තැන මණ්ඩලාකාරව පැතිර සිටි ෂඩ්වර්ණ පැහැය.

බ්‍යාමය

නා. බඹය ; දිග මැනීමේ ප්‍රමාණයක් ; අඩි හයක දිග ප්‍රමාණය ; සතර රියන ; බඹය.

බ්‍රම්සර

1. නා.ප්‍ර. උතුම් හැසිරීම ; බඹසර ; බ්‍රහ්ම චරියාව.
2. උතුම් හැසිරීම ඇති පුද්ගලයා.

බ්‍රරූහණය

1. නා. වැඩීම ; මහත් වීම.
2. සිරුරේ තරබව ; ස්ථූල භාවය.

බ්‍රහ්ම

1. නා.ප්‍ර. තථාගත බුදුරජාණන් වහන්සේ.
2. පරමාත්මය.
3. බුද්ධිය ; ඥානය ; සිත.
වි. උතුම් ; උත්තම ; ශ්‍රේෂ්ඨ.

බ්‍රහ්ම චර්යාව

1. නා. මෛථුන සේවනයෙන් වැළකී සිටීම.
2. වේදය පැවැත්වීම.