සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1163

බීභත්ස

1. නා.ප්‍ර. පිළිකුල ; අප්‍රිය භාවය ; ජුගුප්සාව.
2. නව නට්‍ය රසයන්ගෙන් එකක්.

බීම

1. නා.ප්‍ර. පානය කිරීම.
2. බොනදේ ; පාන වර්ගය ; සුරාව.

බීරණ

නා.ප්‍ර. වලාකුළුවලින් අහස වැසී යාම නිසා ඇති වන අඳුර ; වැහි අන්ධකාරය.

බීරලු කොට්ටය

නා. බීරලු පටි ගෙතීමට ගන්නා ආධාරකය ; රේන්ද කොට්ටය.

බීරලුව

නා. රේන්ද ගෙතීමේ දී නූල ඔතා ගැන්මට භාවිත වන ඇණ ; බීරලු හා අල්පෙනෙත්ති උපකාරයෙන් ගොතනු ලබන රේන්දය.

බුක්තිය

1. නා. ඉඩම් දේපළ පිළිබඳ අයිතිය.
2. ඉඩම් දේපළ ආදිය ප්‍රයෝජනයට ගැනීම ; බුක්ති විඳීම.
3. නිලයක් දරන කාලය.

බුජ

නා. අත ; බාහුව ; හස්තය.

බුජංග

1. නා.ප්‍ර. සර්පයා ; නාගයා ; නාග රාජයා.
2. සල්ලාලයා ; ධූර්තයා.

බුජම

නා. මැටි වීදුරු ආදියකින් කට කුඩා කොට තනන ලද කඳ මහත සිලින්ඩරාකාර භාජනය ; බරණිය.

බුඩ්ඩ පබ්බජිතයා

නා. වයසට ගිය පසු මහණ වූ තැනැත්තා ; මහලු වියේ දී පැවිදි වූ පුද්ගලයා.

බුත්සරණ

1. නා. බුදුරජාණන් වහන්සේගේ පිහිට ; බුදුසරණ.
2. සුප්‍රකට සිංහල ගද්‍ය කාව්‍යයක නාමය.
3. වර්ණවත් මල් හට ගන්නා කුඩා පැළ වර්ගයක්.

බුද

1. නා.ප්‍ර. ග්‍රහයකුගේ නම.
2. බුදුන් වහන්සේ.
3. ටික; කුඩා ප්‍රමාණය ; ස්වල්පය.
4. බින්දුව; ශුන්‍යත්වය.

බුද්ධ

1. වි. අවබෝධ කළ ; චතුරාර්ය සත්‍ය මුළුමනින් ම වටහාගත්.
2. බුදුරදුන්ට අයත්; බුදුරදුන් හා සම්බන්ධ බුදුරදුන් පිළිබඳ වූ.
නා.ප්‍ර. සියලු ඤේය මණ්ඩලය මුළුමනින් ම ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළ උතුමාණෝ; ලොවුතුරා බුදුහු ; සර්වඥයන් වහන්සේ.

බුද්ධ කල්පය

නා. බුදුවරයන් එක් නමක් හෝ වැඩි ගණනක් උපදින කල්පය.

බුද්ධ කාලීන

වි. බුදුරජුන්ගේ කාලයෙහි විසූ ; බුද්ධ කාලයට අයත්.

බුද්ධ පූජාව

නා. බුදුරදුන්ට ගෞරව දැක්වීම වශයෙන් කරනු ලබන ආමිස සහ ප්‍රතිපත්ති පූජා.

බුද්ධ භාෂිතය

නා. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ; අටුවා, ශ්‍රාවක භාෂිත ආදිය ඇතුළත් නොවන ත්‍රිපිටක බුද්ධ වචනය ; ශ්‍රී මුඛ පාලිය.

බුද්ධ භූමි

නා. බුදුවීමට හේතු වන දස පාරමිතාව ; බුද්ධකාරක ධර්මය.

බුද්ධ මන්ත්‍රය

1. නා. බුද්ධ දේශනාව ; ත්‍රිපිටක පාලිය.
2. මන්ත්‍රයක් වශයෙන් පිරුවහන දේශනා පාඨය ; බුදුගුණ ඇතුළත් ගාථාව හෝ පාඨය.

බුද්ධ මාතාව

1. නා. බුදු කෙනකුගේ මව.
2. මහා ප්‍රජාපතී ගෝතමී.

බුද්ධ රාජ්‍යය

1. නා. ලොව්තුරා බුදුබව ; බුද්ධ තත්ත්වය ; පූර්ණ සත්‍යාවබෝධය පිළිබඳ ශ්‍රේෂ්ඨතම තත්ත්වය ; සම්‍යක් සම්බෝධිය.
2. බුද්ධත්වය ලැබීමේ සිට පරිනිර්වාණය දක්වා කාලය.

බුද්ධ රූපය

1. නා. බුදුන්ගේ රුව ; බුද්ධ දේහය.
2. බුද්ධ ප්‍රතිමාව ; බුදු පිළිමය.

බුද්ධ වංශය

1. නා. බුදුවරයකුගේ අතීත චරිත කථාව ; බුදුවරයකුගේ පූර්ව ජන්ම කථාව.
2. බුද්ධ පරම්පරාව ; බුදුවරුන්ගේ පරපුර.
3. එනම් පොත.

බුද්ධ වචනය

නා. බුද්ධ භාෂිතය ; ත්‍රිපිටක පාළිය.