සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1257

මුනිවත

නා. කථා නොකර සිටීම ; නිශ්ශබ්ද භාවය.

මුනිවරයා

1. නා. උතුම් සෘෂිවරයා.
2. බුදුන් වහන්සේ.
3. (කිතුනු දහමෙහි එන) සාන්තුවරයා ; දේවදූතයා.

මුනිවෘෂභ

නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ වූ බුදුරජ.

මුනු

වි. මනා ; සිත්කලු.
නා.ප්‍ර. සිත ; චිත්තය.

මුනු මුනු ගානවා

ක්‍රි. (අකැමැත්ත පළකිරීම පිණිස) කන් කෙඳිරි ගානවා.

මුනුබුරා

1. නා. දූ-පුතුන්ගේ පුතා ; මුනුපුරා.
2. මතු තුන්වන හා එයට පසුවන පරපුරවලට අයත් පිරිමියා.

මුබ

නා.ප්‍ර. මේ ස්ථානය ; මෙතැන ; මොබ.

මුමන

1. නා.ප්‍ර. හඬ ; නාදය ; මුනුමුනුව.
2. මේඝ ගර්ජනය.

මුම්මාරිය

නා. අහස් දියෙන් ගොවිතැන් කෙරෙන කුඹුරු බිමට කියන නාමය.

මුමුනනවා

1. ක්‍රි. හඬ නඟනවා ; නද ගන්වනවා.
2. කොඳුරනවා.

මුඹ

1. නා.ප්‍ර. මෙතැන ; මේ දෙය.
2. ඔබතුමා ; ඔබ.

මුර

1. නා.ප්‍ර. වාරය.
2. මුර කිරීම ; රැකවල.
3. කෑගැසීම ; මොරදීම.

මුර උණ

1. නා.ප්‍ර. වරින් වර ගැනෙන උණ ; දවසක් ඇර දවසක් මතුවන උණ.
2. (කථා.) මැලේරියාව.

මුර පේනුව

(පාරිභා.) නා. යන්ත්‍රයක් ක්‍රියා කරවන මෝටරයකින් සාමාන්‍යයෙන් ක්‍රියා කරවිය හැකි ප්‍රමාණයේ යන්ත්‍රයකට වැඩි බලයක් යෙදවිය හැකි විශාලතර යන්ත්‍රයක් ක්‍රියා කරවන්නට ඒ මෝටරයේ සිට යන්ත්‍රයට සවි කරනු ලබන විශේෂ නලය.

මුර සෙල්

(පාරිභා.) නා.ප්‍ර. පත්‍රවල ස්වාස පුටවලට ඇතුළුවන දොරටුවෙහි දෙපැත්තේ පිහිටි සෛල දෙක.

මුරකරුවා

නා. රැකවල් කරන්නා ; ආරක්ෂකයා.

මුරකාවල්

1. නා.ප්‍ර. රැකවලෙහි නියුක්තයා ; ආරක්ෂකයා.
2. රැකවල ; ආරක්ෂාව.
3. රැකවල් ස්ථාන ; මුරපොළවල්.

මුරගල්

නා.ප්‍ර. පැරණි විහාර ආදියට පිවිසෙන පියගැට පෙළ දෙපසෙහි කොරවක් ගල් ආවරණය වන පරිදි සිරස් අතට පිහිටුවා ඇති බෙහෙවින් කැටයම් කරන ලද ගල් පුවරු.

මුරගානවා

ක්‍රි. මහත් සේ හඬ නගනවා ; මොර ගානවා.

මුරජය

1. නා. බෙර වර්ගයක් ; බෙර.
2. මුරජ බෙරයක් වැනි පටිය.
3. දෙපස උස් වූ ගෘහ විශේෂයක්.

මුරණ්ඩු

වි. දැඩි ; තද ; හිතුවක්කාර ; අකීකරු ; මැර.

මුරපල්ලා

නා. රැකවලෙහි යෙදී සිටින්නා ; මුර සේවයේ යෙදෙන්නා.

මුරපේරුව

නා. රැකවල් කිරීම ; ආරක්ෂා සැලසීම ; මුර සේවය.

මුරිච්චි ඇණය

නා. තද වීමට පෙත්තක් ක්‍රියා කරවිය හැකි ඉස්කුරුප්පු ඇණය ; පොට ඇණය.

මුරිච්චිය

නා. ඉස්කුරුප්පු ඇණයක් හෙවත් පොට ඇති ඇණයක් තදවීමට එහි අගට යොදන පෙත්ත.