සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1256

මුද්‍රාව

1. නා. මුද්‍රා තැබීම සඳහා යොදාගනු ලබන උපකරණය.
2. සත්‍යතාව, වගකීම, නිරවද්‍යතාව ආදිය සහතික කිරීම සඳහා ලේඛනයක යොදන සංකේතය.
3. රාජ්‍ය ලාංඡනය.
4. පුද්ගලයකු (විශේෂයෙන් රජකු) හැඳින ගැනීම සඳහා පළඳින කුඩා ලාංඡන තහඩුවක් සහිත මුද්‍රිකාව.
5. ඇඟිල්ලේ පළඳින මුදුව.
6. අච්චු තහඩුව ; මුද්‍රණ ඵලකය.
7. පියනක් හෝ දොරක් වසා නොඇරීමට යොදන උපකරණය ; අගුල ; තරංකය.
8. අත් පා, ඇඟිලි, බැම ආදියෙන් දක්වන හෘදයභාව ප්‍රකාශනය.
9. දෙව්, බෝසත්, බුදු ආදි මානුෂ උතුමන් ඇඟිලි එක්කර තබා ගැනීමෙන් දක්වන චිත්තරූපය (අභය මුද්‍රාව, වර මුද්‍රාව ආදිය).
10. අත් ඇගිලිවලින් ගණන් දැක්වීමේ ශිල්ප ක්‍රමයක්.
11. පටිපාටිය ; අනුපිළිවෙළ.- .
12. වජ්‍රයානිකයන්ගේ පංචමකාරවලින් එකක් ; මෛථූනයෙහි දී මෙහෙයවිය යුතු ආකාරය.
13. මුද්දරය.

මුද්‍රිකාව

1. නා. ඇඟිල්ලේ පළඳින ආභරණයක් ; මුදුව ; මුද්ද.
2. මුද්‍රා තැබීම සඳහා · ලබන උපකරණය ; මුද්‍රාව.
3. ග්‍රීවාභරණයක් ; මාලයක ලොකු තැල්ල හෙවත් පදක්කම.
4. පියන් දොර ආදිය වසා නොඇරෙන සේ තැබීමට යොදන උපකරණය ; අගුල.
5. (පාරිභා.) ආයුර්වේදයෙහි දැක්වෙන ශල්‍ය ආයුධ වර්ගවලින් එකක්.

මුද්‍රිත

1. නා. මුද්‍රණය කරන ලද ; අච්චු ගසන ලද.
2. මුද්‍රා තබන ලද ; සීල් ගසන ලද.

මුද්‍රිත මාධ්‍යය

නා. සන්නිවේදනය පිණිස යොදාගන්නා පුවත්පත් සඟරා ලිපි ලේඛන ආදිය ; රටක තොරතුරු පුවත්පත් ආදිය මගින් ප්‍රකාශ කිරීම.

මුදාක අකුරු රටා

නා.ප්‍ර. (පරිග.) මුද්‍රකය තුළම තැන්පත් කර ඇති අකුරු රටා.

මුදිත

වි. සතුටු වූ ; ප්‍රීතියට පත්.

මුදිතාව

නා. අනුන්ගේ සුවයෙහි සොම්නස් බව.

මුදියන්සේ

1. නා.ප්‍ර. පත්තුවක හෝ කෝරළයක පරිපාලන කටයුතු භාරව සිටින නිලධරයා ; මුදලි ; රටේ මහත්තයා.
2. (මහනුවර අවදියේ) රට නම් පෙදෙසක පාලක නිලධරයෙක්.
3. පෙළපත් නාමයක්.

මුදු

1. නා.ප්‍ර. ඇඟිළි පළඳනාවක්; මුදුන් මුද්ද.
2. කුඩා වළල්ල.
3. (කථා.) වෘත්තාකාර ව සකස් ව පවතින දෙය ; රවුම් දෙය.
4. ලෝභය ; තෘෂ්ණාව.
වි. මොළොක් ; මෘදු ; සියුමැලි.

මුදු මොළොක්

වි. අතිශයින් මෘදු ; බෙහෙවින් සිනිඳු.

මුදුන

1. නා. (ප්‍රාසාද, පර්වත ආදියෙහි) ඉහළ ම මතු තලය; මස්තකය ; කොත.
2. හිස; සිරස.
3. අකුරු උපදින තැන්වලින් එන එකක් වන උඩුතල්ල.
4. ප්‍රධානත්වය ; ආධිපත්‍යය ; මුල් තැන.

මුදුන්

1. වි. පළමුවන ; ප්‍රමුඛ ; මූලික.
2. (කථා.) මත්තේ වූ ; මතු තලයේ පිහිටි.

මුදුන් කණුව

1. නා. (වරිච්චි ගෙවල්වල) වහල උසුලා සිටින ප්‍රධාන කණුව.
2. කමතේ ගොයම් මැඩීමට යොදන හරකුන් බැඳීමට සිට වූ කණුව ; කම්බා කණුව.

මුදුන් කුළ

1. නා. මත්තෙහි වූ කොත.
2. උච්ච ස්ථානය ; මතු මත්ත.

මුදුන් ගල

නා. (ගොඩනැගිලි තැනීමේ දී) පළමුවෙන් පිහිටුවන ගල ; මුල්ගල.

මුදුන් මල

1. නා. හිස මත්තෙහි පළඳින මල්දම.
2. විශිෂ්ටතම වස්තුව හෝ නිර්මාණය.
3. (කිතුල් ගස් ආදියෙහි) මුදුනෙහි පිපෙන මල.

මුදුන් මුල

නා. ද්වි-බීජ පත්‍රී ශාකවල වර්ධනයට පත් බීජ මූලය ; ප්‍රධාන මූලය.

මුදුන්පත් වෙනවා

ක්‍රි. බලාපොරොත්තුව ඉටු වෙනවා ; (අදහස) සඵල වෙනවා.

මුදුපාකය

නා. මොළොක් ලෙසට පැසවීම ; තෙලෙහි කල්කය මඳක් දිය සහිත ව පිසීම.

මුන්දෑ

නා.ප්‍ර. මෙ තුමා හෝ මෙ තුමිය ; මේ තැනැත්තා හෝ තැනැත්තිය ; මුන් වහන්සේ.

මුන්නිලේ

1. නා.ප්‍ර. පෙරමුණෙහි වන තැනැත්තා ; ප්‍රධානයා.
2. මුතුන්මුතු පරපුරට අයත් තැනැත්තා.

මුනි

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. තවුසා ; මෞන ව්‍රතය රකින්නා ; සෘෂිවරයා.
3. බුද්ධ ශාසනයෙහි පැවිදි වූ තැනැත්තා ; භික්ෂූන් වහන්සේ.
4. නැණවතා ; පණ්ඩිතයා.
5. සිත ; මනස.
6. සිහිය ; ස්මරණය.
7. ඇසිල්ල.
8. මාර්ගය.

මුනිඳු

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. අනුශාසකයා ; උපදේශකයා.

මුනිභාවය

1. නා. මනා බව ; යහපත් බව.
2. පණ්ඩිතභාවය ; ප්‍රඥාවන්තකම.
3. සුචරිතය ; සිල්වත් බව.
4. පරිඥාව ; පිරිසිඳ දැනීම.
5. විදර්ශනාව ; භාවනාව.
6. වඩා කථා නොකරන බව ; මෝනෙය්‍ය භාවය.