සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1255

මුදල් වර්ෂය

(පාරිභා.) නා. නිශ්චය කරගත් දිනකින් ඇරඹී, මුදල් ගනුදෙනු තුලනය කිරීම සඳහා සලකා බැලෙන වසරක කාල පරිච්ඡේදය.

මුදල් වෙළඳපොළ

(පාරිභා.) නා. වලංගු මුදල්, බැංකු තැන්පතු, කෙටිකාලීන මුදල් ආදි මුදල් ගනුදෙනු කරන වෙළඳ සමාගම් හෝ ආයතන සඳහා යෙදෙන නම.

මුදල් සංචිතය

(පාරිභා.) නා. 1. සංසරණයේ පවතින විශ්වාස මුදල් හෝ ණය මුදල වෙනුවෙන් රැකවරණයක් ලෙස රජය හෝ බැංකු විසින් රැස් කොට තබාගෙන ඇති රන් හෝ කාසි ප්‍රමාණය.
2. චෙක්පත්, බැංකු අණකර, බැංකු නෝට්ටු හා එවැනි අනිකුත් බැරකම් සඳහා මුදල් ගෙවීම පිණිස බැංකුවක් විසින් ළඟ තබාගන්නා මුදල් ප්‍රමාණය.

මුදල් සාධකය

(පාරිභා.) නා. ආර්ථික විද්‍යා විෂයෙහි ලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී වැදගත් වන මූලික සාධකවලින් එකක් වන ව්‍යවසාය.

මුදලාලි

1. නා.ප්‍ර. වෙළහෙළඳාමෙන් මුදල් උපයන තැනැත්තා ; වෙළෙන්දා.
2. ව්‍යාපාරික කටයුතුවල යෙදෙන තැනැත්තා.

මුදලි

1. නා.ප්‍ර. ප්‍රධානයා ; ප්‍රධාන නිලධාරියා.
2. අතීතයේ දී රජයෙන් පිරිනැමුණු වැදගත් තනතුරක් ; කෝරළ පත්තු ආදිය පාලනයට පත් කළ මුලාදෑනියා ; මුදියන්සේ ; ග්‍රාම භෝජකයා.
3. මුදල් භාරකාරයා.

මුද්ගර

1. නා.ප්‍ර. සතුරාට පහරදීමට යොදාගත් බැටන් පොල්ල ; මුගුර.
2. අත කොළුව.
3. මිටිය.
4. වළලුකරේ දෙපැත්තේ (ජංඝාස්ථියේ හෝ අණු හෝ ජංඝාස්ථියේ පහළ කෙළවරෙහි) පිහිටි ප්‍රසර දෙකින් එකක්.

මුද්දර

1. නා.ප්‍ර. ඔප්පු, ලියකියවිලි, තැපැල් සේවය ආදී කටයුතු වෙනුවෙන් රජයේ ආදායම් හා සේවා ගාස්තු අයකර ගැනීම පිණිස විවිධ මූල්‍ය අගයන් යටතේ, රජයෙන් නිසා නිකුත් කෙරෙන කුඩා පත්‍රිකා විශේෂයක්.
2. කරත්ත බයිසිකල් ආදිය ධාවනය සඳහා පළාත් පාලන ආයතන මඟින් දෙනු ලබන ලෝහමය අවසර පත්‍රය.
3. කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය පිළිබඳව තබනු ලබන මුද්‍රාව.
4. මුද්‍රාව.
5. පහර දෙන පොල්ල ; මුද්ගරය.

මුද්ධ

නා.ප්‍ර. හිසමුදුන ; ශීර්ෂ මස්තකය.

මුද්ධාභිසේකය

නා. ඔටුන්න පැළඳවීමට පෙර රජකුමරකුගේ හිසපැන් වත්කිරීමේ රාජකීය මංගල්‍යය ; ඔටුනු පැළඳවීමේ මංගල්‍යය.

මුද්‍රක ඵලවුම

නා. (පරිග.) මුද්‍රකය පාලනය කරන මෘදුකාංගය.

මුද්‍රකය

නා. ගොනුවක දෘඪ පිටපතක් ලබාගත හැකි ප්‍රතිදාන උපාංගය.

මුද්‍රක්ෂරය

නා. මුද්‍රණය කිරීමට යොදාගනු ලබන අකුර ; අච්චු අකුර.

මුද්‍රණ යන්ත්‍රය

නා. මුද්‍රණය කිරීම සඳහා යොදාගනු ලබන අතින්/පයින්/බලවේගයෙන්/ක්‍රියා කරවන උපකරණය ; අච්චු ගැසීමේ යන්ත්‍රය.

මුද්‍රණ ශිල්පියා

නා. මුද්‍රණය පිළිබඳ විශේෂ දැනුමක් ඇත්තා ; මුද්‍රණ කාර්යයෙහි නිරතවන්නා.

මුද්‍රණය

නා. අකුරු, චිත්‍ර සටහන් ආදි ඕනෑ ම රූපාකාරයක් අච්චුවක් මගින් කඩදාසි රෙදි ආදී මාධ්‍යයක පිටපත් කිරීම ; අච්චු ගැසීම.

මුද්‍රණය කරනවා

1. ක්‍රි. අච්චු ගසනවා.
2. මුද්‍රා හෙවත් සීල් තබනවා.

මුද්‍රණාලය

නා. මුද්‍රණ කටයුතු කරන ආයතනය.

මුද්‍රප්පද

නා.ප්‍ර. සින්දුවක ආරම්භයේදී ගයා, යළි එහි සන්ධිස්ථානවල දී වරින්වර ගයනු ලබන ගීත ඛණ්ඩය.

මුද්‍රප්පලම්

නා.ප්‍ර. මිදි.

මුද්‍රා තබනවා

1. ක්‍රි. සත්‍යතාව, වගකීම හෝ නිවැරදිතාව සහතික කිරීමට ලේඛනයක සටහන් තබනවා ; සීල් ගසනවා.
2. ඇසුරුමක රහස්‍ය භාවය රැකීමට ලාකඩ, ඉටි ආදිය දමා ඒ මත ලෝහමය උපකරණ මඟින් ලකුණු තබනවා ; ගස් ඔබනවා.
3. නීතිමය බලයක් ඇති නිලධාරීන් විසින් අනිසි දේ සිදුවිය හැකි ස්ථාන, ගොඩනැඟිලි හා කබඩ්, අල්මාරි යනාදිය වසා දමා යතුරු තමන් භාරයට ගන්නවා.

මුද්‍රා නාටකය

නා. ශරීරාංග චලනය හා අභිනය මුද්‍රා මාර්ගයෙන් අදහස් දක්වමින් සංවාදයෙන් තොරව රඟපාන නාට්‍යය ; ඉඟිනළුව.

මුද්‍රා ශාස්ත්‍රය

නා. මුද්‍රා ගැසීම සහ මුදල් මුද්‍රණය පිළිබඳ ශාස්ත්‍රය.

මුද්‍රාංකිත

වි. අච්චු ගසන ලද ; මුද්‍රිත.