සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1299

යුද්ධ සම්මාන

නා.ප්‍ර. යුද්ධයේ දී වීරත්වය සඳහා පිරිනමන පදක්කම් ආදිය.

යුද්ධ ස්මාරකය

නා. යුද්ධය අවසන් වීම හෝ යුද්ධයෙන් මියගියවුන් හෝ සිහි කිරීම සඳහා තැනූ සිහිවටනය.

යුද්ධ සිතියම

නා. සටන් බිම්, සටන් වාර්තා, වැදගත් ස්ථාන ආදිය දක්වන බිම් සටහන ; සංග්‍රාමයක දී ප්‍රයෝජනයට ගැනීමට ඇඳ ඇති සිතියම.

යුද්ධ සේනා කැරැල්ල

නා. යුද සේනා අතර ම හටගන්නා අරගලය ; හමුදාවේ ඔවුනොවුන් අතර හටන.

යුද්ධ සේනාංකය

නා. යුද්ධ සේනා ඒකකය ; හමුදා කණ්ඩායම්වලින් එකක්.

යුද්ධ සේනාපතියා

නා. යුද හමුදාවේ නායකයා ; යුද්ධ හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ; යුද්ධ සේනාධිපතියා.

යුද්ධ සේනාව

නා. යුද්ධයට සූදානම් කළ භට කණ්ඩායම ; භට සේනාව ; යුද්ධ හමුදාව.

යුද්ධක්ෂම

වි. යුද්ධයෙහි ශූර ; සටනෙහි දක්ෂ.

යුද්ධකාමී

වි. යුද්ධ කිරීමට කැමති ; සටන්කාමී ; සටනට ලැදි.

යුද්ධකාරි

(පාරිභා.) නා.ප්‍ර. යුද්ධයෙහි යෙදෙන ජාතිය හෝ පුද්ගලයා.

යුද්ධය

නා. විශාල ප්‍රමාණයේ සටන ; සංග්‍රාමය.

යුද්ධාඞ්ගණය

නා. යුද්ධ කරන භූමිය ; යුද පිටිය ; රණබිම.

යුද්ධාධිකරණය

[යුද්ධ + අධිකරණය]
නා. ත්‍රිවිධ හමුදාවේ නිලධරයන්ගේ නඩු විසඳීම සඳහා වූ අධිකරණ මණ්ඩලය.

යුද්ධාභිලාෂි

[යුද්ධ + අභිලාෂි]
වි. යුද්ධයට ආශා ඇත්තා වූ ; යුද්ධය කැමති වූ.

යුද්ධායුධ ගබඩාව

නා. යුධ අවි ආයුධ තැන්පත් කර ඇති ස්ථානය ; යුධෝපකරණ ගබඩාව.

යුද්ධෝපකරණ

නා.ප්‍ර. සටන් කිරීමට උදවු වන ආයුධ, සංඥා උපකරණ, නිල ඇඳුම්, වෛද්‍ය උපකරණ, ආදිය ; සංග්‍රාමයට අවශ්‍ය දේ.

යුද්ධෝපායය

[යුද්ධ + උපායය]
නා. සටනෙහි දී යොදන උපක්‍රම ; යුද්ධයේ දී ජයග්‍රහණය සඳහා යොදන උපාය මාර්ග.

යුනානි

නා.ප්‍ර. අරාබි වෛද්‍ය ක්‍රමය.

යුනියන් ජැක්

නා.ප්‍ර. (බ්‍රිතාන්‍ය) ඒකාබද්ධ රාජ්‍යයේ ජාතික කොඩිය.

යුනිසෙෆ්

නා.ප්‍ර. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදල.

යුනි‍ෆෝමය

නා. නිලයක්, කණ්ඩායම් සාමාජිකත්වයක් නියෝජනය කරන විශේෂ ඇඳුම් කට්ටලය ; නිල ඇඳුම.

යුනෙස්කෝ

නා.ප්‍ර. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධාන.

යුරනයිල්

(පාරිභා.) නා.ප්‍ර. රසායනික සංයෝගයක්.

යුරැසිල්

නා.ප්‍ර. නයිට්‍රජනීය භෂ්ම හතරින් එකක්.