සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 131

අපරීක්ෂාකාරී

වි. විමසීමකින් තොර ව ක්‍රියා කරන; අනවධාන.

අපරුෂ

වි. රළු නොවූ; කඨෝර නොවූ.

අපරෝක්ෂ

වි. ඇසට පෙනෙන; ප්‍රත්‍යක්ෂ; ඉන්ද්‍රිය සංයෝගයෙන් හටගත්.

අපරෝක්ෂ ඥානය

නා. (න්‍යාය.) විෂය ගෝචර හා ඉන්ද්‍රිය සංයෝගයෙන් හටගත් දැනුම; ප්‍රත්‍යක්ෂ ඥානය.

අපරෝපක්‍රම

නා.ප්‍ර. අන්‍යයන්ගේ උපක්‍රමයෙන් මැඩිය නොහැකි දෙය.

අපල

1. වි. පල නැති; නිෂ්ඵල.
2. වි. අනිෂ්ට ග්‍රහ දෝෂ සහිත; අගුණ.
1. නා.ප්‍ර. අනිටු විපාකය.
2. නා.ප්‍ර. අශුභ කාලය.

අපලක්ෂණකයා

නා. අශුභ ලකුණු ඇති තැනැත්තා; අභාග්‍යවත් පුද්ගලයා.

අපලාප

1. නා.ප්‍ර. ඇත්ත සැඟවීම; අපහ්නවය.
2. නා.ප්‍ර. ආදරය; සැලකිල්ල.

අපලායි

වි. පලා නොයනසුලු; ස්ථිරසාර; නිර්භීත.

අපලිබුද්ධ

වි. පලිබෝධ රහිත; බාධා නැති.

අපලෝකනය

1. නා. පිටිපස බැලීම.
2. (විනය.) නා. සංඝයාගේ අවසරය ලැබීම සඳහා විචාරීම.

අපවත්

වි. නොපවත්නා; පැවැත්ම නැති; අභාවයට ගිය; මියගිය; අභාවප්‍රාප්ත; අපගත; කාලක්‍රියා කළ.

අපවත් වෙනවා

ක්‍රි. විශේෂයෙන් භික්ෂූන් මිය යනවා; පරලෝකප්‍රාප්ත වෙනවා; අපගත වෙනවා.

අපවරකය

නා. ඇතුළු ගබඩාව; ඇතුළු කාමරය.

අපවර්ගය

1. නා. (ව්‍යාක.) අභිමත ඵලය සිද්ධ වූ කල්හි ක්‍රියාව නිමවීම.
2. නා. නිවන; නිර්වාණය.

අපවර්තකය

(පාරිභා.) නා. විශාල සංඛ්‍යාවක් ඉතුරු නැති ව බෙදිය හැකි කුඩා ගණන (=factor, submultiple, measure).

අපව්‍යය

නා. පමණ ඉක්මවා වියදම් කිරීම; අධික වියදම.

අපවාද

1. නා.ප්‍ර. දෝෂාරෝපණ; චෝදනා; නින්දා; නිග්‍රහ.
2. නා.ප්‍ර. ආඥා; නියෝග.
3. නා.ප්‍ර. විශේෂ විධි; ව්‍යභිචාර.

අපවාදක

වි. අගුණ කියන; දෝෂාරෝපණ කරන; චෝදනා කරන.

අපවිත්‍ර

වි. අපිරිසිදු; කිලුටු; දූෂිත.

අපවිලයනය

(පාරිභා.) නා. වායුවල හෝ ද්‍රව්‍යවල හෝ අණු ඒකාකාර සංයුක්තියක් ඇති කරන පරිදි අන්‍යෝන්‍යව මිශ්‍ර වීම; විසරණය (=diffusion).

අපශබ්දය

නා. ව්‍යාකරණ විරෝධි වචනය.

අපශාඛාව

(පාරිභා.) නා. ගංගාවකින් බෙදී යන ශාඛාව; අපපාඨය.

අපශූලත්වය

නා. ආයුධ රහිත බව; නිරායුධ බව.