සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 132

අපශෝධනය

(පාරිභා.) නා. (නීති.) මැනීම; කටුගෑම; විලෝප කිරීම.

අපසංක්‍රමණය

නා. පසු බැසීම; අපසරණය.

අපසක්

වි. ඇසට විෂය නොවන; නොපෙනෙන; අප්‍රත්‍යක්ෂ.

අපසද

නා.ප්‍ර. වැරදි වචනය; ව්‍යාකරණ විරෝධී වචනය; අපශබ්දය.

අපසර

නා.ප්‍ර. දෙවඟන; අප්සරාව.

අපසරණය

1. නා. ඉවත් ව යෑම; පිටත්ව යෑම; වෙන්ව යෑම.
2. (පාරිභා.) නා. පොදු කේන්ද්‍රස්ථානයකින් එකිනෙකට ඈත් වෙමින් විහිදීම.

අපසර්ජනය

1. නා. අත්හැරීම; දුරු කිරීම.
2. නා. කිසියම් දෙයක් පිරිනැමීම.

අපස්නාව

(කථා.) නා. අගුණ කීම; දොස් කථා කිරීම.

අපස්මාරය

නා. සිහි නැති වීමක් සහිතව හෝ රහිතව මොළයේ සංවේදී කොටස්වල ක්‍රියාව හදිසියේ අවුල්වීම ඇති කරවන රෝගය; මීමැස්මොරය.

අපස්මෘතිය

නා. මතක නැති වීම; සිහියෙන් තොර වීම.

අපස්වාදය

1. නා. පක්ෂ ව කථා නොකිරීම; පක්ෂ නොවීම; විරුද්ධ වීම; ද්‍රෝහි වීම.
2. නා. අගුණ කීම; දෝෂාරෝපණය; චෝදනාව.

අපස්සය

නා. පුටු ආදියේ ආසනවල හේත්තු වන ඇන්ද; දෑලයෙහි අත් තබන ඇඳි දෙක.

අපසාදකරය

නා. අප්‍රසාද කරවන දෙය; හෙළා දැකීම උපදවන ක්‍රියාව.

අපසාදනය

1. නා. පහ කිරීම; නෙරපීම.
2. නා. ගැරහීම; අවමානය.

අපසාරි

(පාරිභා.) වි. පොදු කේන්ද්‍රස්ථානයකින් එකිනෙකට ඈත් වෙමින් විහිදී යන.

අපහත

වි. නසන ලද; පහ කරන ලද.

අපහර

වි. දුරු කළ; පහ කරන ලද.

අපහරණය

1. නා. ඉවත් කිරීම; පහ කිරීම; දුරු කිරීම.
2. නා. පැහැර ගැනීම; සොරා ගැනීම.
3. (ජ්‍යෝති.) නා. යම්කිසි කෙනෙකු උපත ලැබූ විට ඔහු උපන් දශාවෙන් කොපමණ කාල ප්‍රමාණයක් ගත වී තිබේ දැයි ගැන බැලීම.

අපහසිත

වි. අපහාස කරන ලද; නිගා කරන ලද.

අපහසුගාය

(කථා.) නා. (සරම්ප, පැපොල වැනි) බෝවන රෝගය.

අපහසුව

1. නා.ප්‍ර. පහසු නොවනබව; අමාරුව; දුෂ්කරතාව.
2. නා.ප්‍ර. අසනීපය; ආබාධය; රෝගය.

අපහ්නවය

නා.ප්‍ර. වැළකීම; සැඟවීම; ප්‍රතිෂේධය.

අපහාරක

1. වි. බැහැර ගෙන යන.
2. වි. සොරකම් කරන.
3. වි. සඟවන.
4. වි. වනසන.

අපහාරය

1. නා.ප්‍ර. ඉවත් කිරීම; පහ කිරීම; දුරු කිරීම.
2. නා.ප්‍ර. පැහැර ගැනීම; සොරා ගැනීම.