සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1398

ලිඛිත විරෝධය

නා. ලියවිල්ලකින් දක්වන විරුද්ධතාව හෙවත් විරෝධය.

ලිඛිත සංස්ථිතිය

නා. ලේඛනගත කොට ඇති සම්ප්‍රදාය ; පිළිගන්නා ලද, තහවුරු වූ ව්‍යවස්ථාමය නීති රීති ආදිය.

ලිඛිතකයා

නා. වරදකට දඬුවම් කොට ඇති අපරාධකාරයා ; සැඟවී සිටීම නිසා වරෙන්තු නිකුත් කරනු ලැබූ වරදකරුවා.

ලිඛිතාපහාසය

[ලිඛිත + අපහාසය]
නා. ලිවීමේ මාධ්‍යය උපයෝගී කොටගෙන කරනු ලබන අපහාසය ; ලිඛිතව කළ අපහාසය.

ලිග්ගල

නා. ගල් තුනකින් සකස් කළ දර ලිපක් සඳහා ගැනෙන ගල ; ලිප් කැටය.

ලිග්නයිට්

නා.ප්‍ර. ශාක ද්‍රව්‍ය ගල් අඟුරු බවට පරිවර්තනය වීමෙහි එක් අවස්ථාවක් දක්වන දුඹුරු පාටට හුරු ගල් අඟුරු වර්ගය.

ලිග්නින්

(පාරිභා.) නා.ප්‍ර. ශාකවල විශේෂයෙන් කාෂ්ඨීය පටකවල තිබෙන සෛල බිත්තිවල තැන්පත් වුණු සංකීර්ණ ද්‍රව්‍යයක්.

ලිගියා

නා.ප්‍ර. ක්රුස්ටාසෙයාවන් ගෙන් ජලජ වාසය ඉවත ලා භෞමික ජීවිතයට හුරුව, වඩදිය ඉමට යම්තම් ඉහළින් වූ ගල් තුළ වාසය කරන සතෙක්.

ලිඞ්ග

ලිඞ්ගය බ.

ලිඞ්ග ආර්යයා

නා. තපස් වේශය ඇති උත්තමයා ; සතර ආර්යයන්ගෙන් කෙනෙකි.

ලිඞ්ග ඥානය

නා. හේතුව පිළිබඳ දැනීම ; හේතුව සම්බන්ධ අනුමාන දැනුම.

ලිඞ්ග නිමිත්ත

නා. යමෙකුගේ ගැහැණු පිරිමි බව හැඳින ගැනීමට තිබෙන ලකුණ ; ස්ත්‍රී පුරුෂාදි වශයෙන් හඳුනා ගැනීමට ඇති සංඥාව.

ලිඞ්ග පරිවර්තනය

1. නා. ස්ත්‍රියක පුරුෂයකු වීම සහ පුරුෂයකු ස්ත්‍රියක වීම.
2. උපසම්පදා පැවිද්දෙන් වෙනස් ව ගිහි බවට පත්වීම.

ලිඞ්ග පූජාව

නා. පුරුෂ ලිංගය දේවත්වයෙහිලා පවත්වන වැඳුම් පිඳුම් ; පූජනීයත්වයෙන් සලකා ශිව දෙවියන්ගේ ලිංග මූර්තිමත් කරනු ලබන පූජාව.

ලිඞ්ග විභාගය

නා. (ව්‍යාක.) නාම ප්‍රකෘති පුරුෂ, ස්ත්‍රී නපුංසක යන ලිංගත්‍රයට බෙදා දැක්වීම.

ලිඞ්ගත්‍රය

නා.ප්‍ර. පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග යනුවෙන් ව්‍යාකරණයෙහි සඳහන් ශබ්ද ප්‍රකෘති තුන.

ලිඞ්ගභජනය

නා. (ව්‍යාක.) භාෂාවේ නාම පද, පුරුෂ, ස්ත්‍රී, නපුංසක යන ලිංග තුනෙන් එකක යෙදීම; පුරුෂ, ස්ත්‍රී, නපුංසක වශයෙන් ශබ්දවලට ලිංග ගැනීම.

ලිඞ්ගභේදය

1. නා. ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ලිංගිකව පමණක් පවත්නා වෙනස.
2. (ව්‍යාක.) ලිංග අනුව පවත්නා ශබ්ද බෙදීම ; පුරුෂ, ස්ත්‍රී, නපුංසක ලිංග යනුවෙන් දැක්වෙන ශබ්ද වර්ග කිරීම.
3. ලිංග සම නොවීම ; ලිංග විෂමතාව.

ලිඞ්ගය

1. නා. ලකුණ ; ලාඤ්ජනය.
2. ශරීරයෙහි පිහිටි දිග කළු උස ආදි ශාරීරික ලක්ෂණ සටහන ; ආකාරය.
3. වේශය ; ස්වරූපය ; ස්වභාවය.
4. ස්ත්‍රී භාවය හා පුරුෂ භාවය.
5. (ව්‍යාක.) නාමපදයක් සිද්ධවීමට මුල්වන ශබ්ද ප්‍රකෘතියේ ලිංග භේදය.
6. පිරිමි ලිඟුව ; පුරුෂ නිමිත්ත.
7. ශිව දෙවියන් මූර්තිමත් කරන ලිංග සංකේතය ; ශිව ලිංගය.

ලිඞ්ගාර්ථය

නා. (ව්‍යාක.) ප්‍රථමා විභක්ති ගන්නා නාමපදයන්ගේ අර්ථ දෙකින් එකක නාමය.

ලිඞ්ගික ප්‍රත්‍යය

නා. ව්‍යාකරණයේ ස්ත්‍රී, පුරුෂ, නපුංසක යන ත්‍රිවිධාකාර වූ ශබ්ද ප්‍රකෘතිවලට අයත් ප්‍රත්‍යය.

ලිඞ්ගේන්ද්‍රිය

නා.ප්‍ර. ස්ත්‍රීන්ගේ හා පුරුෂයින්ගේ ජනක සෛල උපදවන ඉන්ද්‍රිය හා ඊට සම්බන්ධ අවයව ; ප්‍රජනන කාර්යයට සම්බන්ධ ඉන්ද්‍රියය.

ලිඞ්ගෝපදංශය

නා. ලිංගික රෝගයක් ; ඖපසර්ගික මේහය ; සුද බින්දුව ; ගොනෝරියාව.

ලිඟිනියා

නා. ඇඳුම් නොහැඳි තැනැත්තා ; නග්න පුද්ගලයා ; නිර්වස්ත්‍ර පුද්ගලයා.