සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1399

ලිඟු පෙරලිය

ලිඞ්ග විපර්යාසය බ.

ලිඟු සටහන්

නා.ප්‍ර. වැඳුම් පිදුම් ආදිය සඳහා සාදන ලද පුරුෂ ව්‍යඤ්ජනය ; ගල් ආදියෙන් සාදන ලද හෝ කපන ලද ශිව ලිංග සටහන.

ලිඟුපාරුස

නා.ප්‍ර. උකුළත් දණහිසත් අතර වූ කකුලේ මසින් පිරුණු කොටස ; කළවය.

ලිට්මස්

නා.ප්‍ර. ශාකවලින් ලබාගන්නා සායම් වර්ගයක් ; අම්ල මිතියේදී හා ක්ෂාර මිතියේදී දර්ශකයක් ලෙස භාවිත කරන දම්පාට කාබනික ද්‍රව්‍යයක් වන මෙහි අම්ලයක් නිසා රතුපාට වීමද ක්ෂාරයක් නිසා නිල්පාට වීමද සිදු වේ.

ලිටොරිනා

නා.ප්‍ර. ටොලස්කා වර්ගයට අයත් වූද, වෙරළවල, ගල්පර හා ගල්වල යටි පැත්තේ වෙසෙන්නා වූද උඩ කටුවකින් හා දික් අතට පිහිටි තහඩු අටකින් සෑදුණා වූද කුඩා, අලස සත්ව ගණයක්.

ලිටොරිනා කලාපය

නා. පාෂාණමය වෙරළවල පිහිටි, ගොලු බෙල්ලන්ද ලවණවලට ඔරොත්තු දෙන ශක්තිය ඇති ගොඩ සතුන් හා පැළෑටි ද ආවේණික ලක්ෂණ කොට ඇති කලාපය.

ලිඩ්

වි. ඇලුණු ; ආශා වූ ; ලොල් වූ ; ආසක්ත.

ලිත

1. නා. දින, නැකැත්, තිථි, යෝග, ග්‍රහචාර, සංක්‍රාන්ති ආදිය දක්වන පොත හෝ පත්‍රිකාව.
2. දින, වකවානු, පොහොය ආදිය දැක්වෙන දින දර්ශනය.

ලිතනිය

නා. ක්‍රිස්තු භක්තිකයන් විසින් ගීතිකා ගයමින් කරනු ලබන යාඥා ක්‍රමය ; සාමාන්‍ය යාඥාව.

ලිත් අකුරු

නා.ප්‍ර. ලිත් ලිවීමේ දී ඉලක්කම් වෙනුවට යොදන සිංහල අකුරු ; ලිත් ඉලක්කම්

ලිත් පැය

නා. ඔරලෝසුවෙන් විනාඩි 24 ක් වූද, ඔරලෝසු පැයකින් 2/5 ක් වූද කාලය.

ලිත් මාසය

නා. වර්ෂයේ ලිතෙහි සඳහන් කර ඇති මාසය ; ජනවාරි, පෙබරවාරි ආදි වහයෙන් ලිතෙහි සඳහන් කර තිබෙන එක් එක් මාසය.

ලිත් ලකුණු

නා.බහු. සාමාන්‍ය සිංහල අකුරු වෙනුවට ජ්‍යෝතිෂ ආදි සමහර ශාස්ත්‍රීය ග්‍රන්ථවල භාවිත විශේෂ රූ සටහන්.

ලිත් වර්ෂය

නා. ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් තිස්එක්වෙනිදා තෙක් කාල පරිච්ඡේදය.

ලිත් හූ

නා.ප්‍ර. සිවුරු නූල් ඇදීමට ගන්නා නූල් විශේෂය.

ලිතාජ්

නා.ප්‍ර. ඔක්සිජන් සමඟ ඊයම් (ලෙඩ්) සංයෝජනය වීමෙන් සෑදෙන රතට හුරු කහපාට මොනොක්සයිඩය.

ලිතියම්

නා.ප්‍ර. සැහැල්ලුතම රිදී පැහැති ලෝහයක්.

ලිතුකුරු

නා.ප්‍ර. ලියන ලද අකුරු ; ලිඛිත අක්ෂර.

ලිතෝග්‍රෆි

නා.ප්‍ර. වතුර රෝල හා මුද්‍රණ තීන්ත රෝල විශේෂයෙන් සකසන ලද ලිතෝ තහඩුවේ තැවරෙන විට මුද්‍රණය විය යුතු කොටසෙහි තීන්ත තැවරෙන අතර අනවශ්‍ය කොටස්වල නොතැවරෙන සේ කෙරෙන මුද්‍රණය ; ප්ලැනොග්‍රැෆික් ප්‍රොසෙස් ක්‍රමය.

ලිනන්

1. නා.ප්‍ර. හණ වර්ගයක් ; ප්ලැක්ස් හණ ; ලිනන් හණ ; මෙම වර්ගයේ කෙඳිවලින් රෙදි නිපදවීමත් ඇටවලින් (ලින්සීඩ්) තෙල් සිඳීමත් කරනු ලැබේ.
2. ෆ්ලැක්ස් හෙවත් හණ නූල්වලින් වියන රෙදි වර්ගය.

ලින්ක්

නා.ප්‍ර. මිනුම්දෝරු දම්වැලකින් 1/100 පංගුව, හෙවත් අඟල් 1.92ක හෙවත් සෙන්ටිමීටර් 20ක පමණ දිග ප්‍රමාණය.

ලින්ටර්

නා.ප්‍ර. වේලාගත් පසු යන්ත්‍රානුසාරයෙන් ශුද්ධ කිරීමේ දී, කපු ඇටවලට ඇලී ඉතිරි වන කපු කෙඳි ; මේවා සේද, කෘත්‍රිම නොබිඳෙන වීදුරු, ඉටි භාජන, සේයා පටල, ලාකඩ වර්ග ආදිය සෑදීමට ගනු ලැබේ.

ලින්ටලය

නා. දොරකට ජනේලයකට හෝ උළුවස්සට උඩින් බිත්තියේ බර දරා සිටීම සඳහා යොදනු ලබන ගල්, දැව හෝ කොන්ක්‍රීට් පඩිය.

ලින්ට්

නා.ප්‍ර. තුවාලයක බෙහෙත් ගල්වා ඒ මත්තෙහි එලනු ලබන ඉතා සිනිඳු දැල් ආකාර රෙදි විශේෂය.