සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1411

ලෙඩ් සල්පේට්

(පාරිභා.) නා.ප්‍ර. ඊයම් ලවණයක් සල්ප්‍යුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඇතිවන සංයෝගය.

ලෙඩ් සිලිකේට්

(පාරිභා.) නා.ප්‍ර. ඊයම් ඔක්සයිඩ් 65% ක් සමඟ සිලිකා 33%ක් හා ඇලුමිනා 2%ක් සංයෝග කිරීමෙන් සාදා ගන්නා රසායනික සංයෝගය.

ලෙඩ්ඩු

1. නා.ප්‍ර. ගල් කැබැල්ල ; ගල් කැටය ; කැටය.
2. ලෙඩා යන්නෙහි බහු.

ලෙඩ්ඩු පාතය

1. නා. ගල් ගැසීම ; ගල් කැටවලින් පහරදීම.
2. ගල් කැටයක් ගැසූ විට වැටෙන දුර ප්‍රමාණය ; ගලක් ගසන දුර.

ලෙඩා

නා. කායික, මානසික ආබාධයකින් පෙළෙන්නා ; ව්‍යාධියා ; රෝගියා ; අස්වස්ථයා.

ලෙඩු

නා.ප්‍ර. ගල්කැටය ; කුඩා ගල ; ලෝෂ්ටය.

ලෙඩුපා

නා.ප්‍ර. සාමාන්‍ය ශක්තිමත් පුද්ගලයකුට ගල් කැටයක් විසි කළ හැකි දුර ප්‍රමාණය ; ගලක් ගසන දුර ; ලෙඩ්ඩු පාතය.

ලෙණ

1. නා. පර්වත ප්‍රාන්තයක ස්වාභාවික ව නිර්මිත ව පවතින ගුහාව ; පර්වත ගුහාව ; ගිරි ලෙණ.
2. වාසස්ථානයක් බවට හරවා ගත් ගිරි ලෙණ.
3. ‘සතකු විසින් සාරන’ ලද ගුහාව.

ලෙණ තල්ල

නා. ගල් ලෙණකට ආවරණය සලසන පියස්ස ; ගල්තැල්ල.

ලෙණැසී

වි. මුව ඇස් ඇති ; මියුලැසි.

ලෙද

වි. පරිදි ; ලෙස ; විලාස ඇති.
1. නා.ප්‍ර. විලාසය ; ආකාරය ; ස්වරූපය.
2. සුදුසු ආකාරය ; යෝග්‍යසැටිය ; පහසු විදිය.
3. ටික ; ස්වල්පය.

ලෙදින් ලෙද

ක්‍රි.වි. ටිකෙන් ටික ; ස්වල්පයෙන් ස්වල්පය ; මඳින් මඳ.

ලෙදේ

(කථා, හම්බ.) නා. මිද වූ කිරි මතුයෙහි තිබෙන තෙල් පට්ටය ; යොදය.

ලෙන් ලිපි

නා.ප්‍ර. ගල්ලෙන් පියසි ආදියෙහි කොටා තිබෙන ලිපි.

ලෙන්ට්

නා.ප්‍ර. ක්‍රිස්තියානි ආගමිකයන්ගේ අළු බදාදා සිට පාස්කුව දක්වා වූ හතළිස් දවසේ උපවාස කාලය ; කොරොස්ම කාලය.

ලෙන්තැරි

(කථා.) නා.ප්‍ර. තාලවර්ගයට අයත් ගසක නාමය ; අඩි 12ක් පමණ උසැති කුඩා ගෙඩි සහිත පුවක් වලු වැනි වලු ඇති පුවක් ගසට සමාන ගස් විශේෂයක් ; දෝතලු.

ලෙන්සය

නා. කිරණවල අභිසරණයක් හෝ අපසරණයක් හෝ ඇති කරන පාරදෘශ්‍ය මාධ්‍යය ; කාචය.

ලෙප්ටිනන් කර්නල්

1. නා.ප්‍ර. යුද්ධ නිලධාරි පදවි නාම අතුරින් මේජර් තනතුරටත් කර්නල් තනතුරටත් අතර නිලය.
2. ඒ නිලය දරන්නා.

ලෙප්ටොකෙපලුස්

(පාරිභා.) නා.ප්‍ර. ආඳාගේ කීට අවස්ථාව.

ලෙපිඩොප්ටෙරා

(පාරිභා.) නා.ප්‍ර. සමනළයන් හා සලබයන් අන්තර්ගත සත්ව ගෝත්‍රය.

ලෙපිඩොලයිට්

(පාරිභා.) නා.ප්‍ර. ලිතියම් අන්තර්ගත රෝස පාටට හුරු මයිකා විශේෂයක්.

ලෙපියනවා

ක්‍රි. අධික ලෙස සතුටු වෙනවා , ප්‍රීති වෙනවා ; සතුටින් ඉපිලෙනවා.

ලෙපියා අරිනවා

(කථා. උමැද.) ක්‍රි. අමතක කර දමනවා ; සිතින් අත්හැර දමනවා ; ගණන් නොගෙන අරිනවා.

ලෙපුස්

නා.ප්‍ර. තාරකා පන්තියක්; තරු රැස සම්බන්ධ කොට ඉරි ඇන්ද විට හාවකුගේ හැඩයක් දක්වන තරු රැස.