සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1437

වට්ටඩිරාළ

නා.ප්‍ර. ප්‍රධානියා ; මූලිකයා ; නායකයා.

වට්ටඬි

(කථා.) වි. අහංකාර ; පුරාජේරු.

වට්ටම

නා. භාණ්ඩයක මිලෙන් කරන විශේෂ අඩු කිරීම ; කොමිස් මුදල ; පොළිය.

වට්ටමන

නා. හිඳ ගැනීමට ගන්නා රවුම් කුඩා කොට්ටය.

වට්ටම් පොළ

නා. විනිමය බිල්පත්‍ර මිල දී ගන්නා හා විකුණන ව්‍යාපාරික ආයතනය.

වට්ටාරම

1. නා. අවටින් සම්පූර්ණව වට කරන ලද මැද මිදුල.
2. ගෙයක වටේට තිබෙන පිල.
3. ගෙය.
4. වීගුල.

වට්ටාව

(කථා.) නා. බුලත් දමන වට්ටිය හෙවත් හෙප්පුව.

වට්ටි අම්මා

(කථා) නා. එළවළු පලතුරු ආදිය වට්ටියක ලාගෙන වෙළඳාම් කරන තැනැත්තිය ; වට්ටිකාරිය.

වට්ටිය

නා. බටපතුරු, පන්, පොල් කොළ ආදියෙන් වියන ලද පැතලි පළල් කට සහිත නොගැඹුරු කූඩය.

වට්ටුව

(කථා.) නා. 1. ගල්ලෑලි පින්තූර ආදියේ රාමුව ; තොරණ, වෙසක් කූඩු ආදිය සාදා නිම කිරිමට පෙර සැකසූ සැකිල්ල ; රවුම.
2. රවුමට එතූ පුස්කොළ මිටිය.

වට්ටෝරු පොත

නා. පිළිවෙලට යමක් සටහන් කොට ඇති ලේඛනය ; වට්ටෝරුවක් ආකාරයෙන් කළ ලියවිල්ල ; ගබඩා පොත.

වට්ටෝරු වෙදා

නා. රෝග පිළිබඳ මනා දැනීමකින් තොරව බෙහෙත් වට්ටෝරු බලා වෙදකම් කරන තැනැත්තා ; වට්ටෝරු වෙද රාළ.

වට්ටෝරුව

නා. පවතින දේ, අඩංගු දේ, කළ යුතු දේ ආදිය ලේඛන ගත කරන ලද්ද ; නාම ලේඛනය.

වට්න

වි. පවත්වන ; පුදන.

වට්නොට්

නා.ප්‍ර. විසිතුරු දෑ, පිඟන් කෝප්ප ආදී කුඩා ප්‍රමාණයේ භාණ්ඩ තැන්පත් කිරීම සඳහා ගැනෙන තට්ටුවලින් යුක්ත රාක්ක.

වටා

නි. අවට ; හාත්පස.

වටාලා

පූර්ව.ක්‍රි. නැවත ; යළිත් ; වැළිත්.

වටැස්

නා.ප්‍ර. රකුසා.

වටිකාව

නා. බෙහෙත් ද්‍රව්‍ය කුඩු කර අනා සාදාගත් ගුලිය ; බෙහෙත් ගුලිය ; වටකය.

වටිනවා

1. ක්‍රි. අගය වෙනවා ; මිල වෙනවා.
2. සුදුසු වෙනවා.

වටින් පිටින්

ක්‍රි.වි. අවටින් ; අහලින් පහළින්.

වටින්ගොඩින්

1. ක්‍රි.වි. හාත්පසින් ; වටේට.
2. යන්තමින්.

වටිනාකම

නා. අගය ; මිල ; ප්‍රමාණය.

වටිය

නා. උපකරණ ; බඩුමුට්ටු.