සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1553

විශද

වි. පිරිසිදු ; පැහැදිලි ; නිර්මල.
නා.ප්‍ර. සුදු පාට.

විශල්කනය

(පාරිභා.) නා. හම මතුපිට කබොල් ගැලවීම ; පොතුයෑම.

විශ්ලේෂ

නා.ප්‍ර. වෙන් කිරීම ; විච්ඡේදය.

විශ්ලේෂ සාධනය

නා. විග්‍රහාත්මක ඔප්පු කිරීම.

විශ්ලේෂණය

නා. බෙදා වෙන් කිරීම ; විභාගය.

විශ්ව

1. වි. සියලු ; හැම ; සමස්ත.
2. මුළු ලොව හා සම්බන්ධ.

විශ්ව කීර්තිය

නා. ලොව පුරා පැතිරී ගිය ගුණ කථනය ; ලෝකය පුරා පැතිර ගිය යසස.

විශ්ව සම්භවය

නා. තාරකා හා සූර්යග්‍රහ මණ්ඩලයේ ඇතිවීම පිළිබඳ හැදෑරීම.

විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා

නා. නොයෙක් දේ මැවීම කරන ශක්‍රයාගේ පරිවාර දෙවියකුගේ නාමය ; දෙවියන්ගේ ශිල්පියා.

විශ්වකෝෂය

නා. කෝෂ ග්‍රන්ථ විශේෂයක් ; නොයෙකුත් විෂය පිළිබඳ හෝ එක් විෂයක් පිළිබඳ හෝ සියලු පාශ්ව පිළිබඳ හෝ දැනුම් සම්භාරය විස්තර සහිතව අකාරාදි පිළිවෙළින් දැක්වෙන ග්‍රන්ථය.

විශ්වදේශවාදය

නා. පවුල හා සමාජය කෘත්‍රිම දේ හැටියටත්, ජාති භේදවලින් හා පන්ති භේදවලින් තොරව ලෝකයේ පුරවැසිකම පමණක් නිවැරදි ලෙසටත් සැලකීම.

විශ්වම්භරා

නා.ප්‍ර. පොළොව ; පෘථිවිය.

විශ්වමූර්ති

වි. සියල්ල මූර්තිමත් කොට ඇති.

විශ්වය

නා. මන්දාකිණිය වැනි අනෙක් තාරකා පද්ධතිය.

විශ්වලෝකාධිගමන

නා.ප්‍ර. සියලු ලොව අවබෝධ කිරීම.

විශ්වව්‍යාපි

වි. සියල්ලෙහිම පැතිර පවත්නා ; ලෝක ව්‍යාප්ත.

විශ්වවිද්‍යාලය

නා. උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතනය ; විවිධ අධ්‍යාපන විෂය පිළිබඳ ඉගැන්වීම, පර්යේෂණ කිරීම ආදියට අවස්ථා සලසන්නා වූ ද උපාධි පිරිනමන්නා වූ ද ආයතනය.

විශ්වසනය

නා. විශ්වාසය ; විශ්වාස කළ හැකි බව.

විශ්වසනීය

වි. විශ්වාස කළ හැකි ; පිළිගත හැකි.

විශ්වස්ත

වි. විශ්වාස වූ ; හිතවත් වූ.

විශ්වස්‍ය

වි. විශ්වාස කටයුතු ; විශ්වසනීය.

විශ්වාස-භංග යෝජනාව

නා. යම් ආයතනයක ක්‍රියාපද්ධතිය කෙරෙහි විශ්වාසය නැති බව දැක්වීම සඳහා ඉදිරිපත් කරන විරුද්ධ යෝජනාව.

විශ්වාසය

නා. සැක නොකිරීම ; සැකයෙන් තොර බව ; පිළිගත හැකි බව.

විශ්‍රබ්ධ

වි. විශ්වාස කළ.