සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1587

වෙලෙස

නා.ප්‍ර. වියන.

වෙවචනය

නා. පරියාය වචනය ; සමාන පදය.

වෙවුලනවා

ක්‍රි. සෙලවෙනවා ; චංචල වෙනවා ; (ශරීරය) ගැහෙනවා.

වෙසක්

1. නා.ප්‍ර. සිංහල ව්‍යවහාරය අනුව බක් සහ පොසොන් අතර මාසය ; වෙසක් මාසය.
2. බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිදු වූ වෙසක් මස පසළොස්වක දිනය.

වෙසඟ

නා.ප්‍ර. වෙසක් මාසය ; වෙසක් පොහෝ දිනය.

වෙසඟන

නා.ප්‍ර. වේශ්‍යාව ; ගණිකා ස්ත්‍රිය.

වෙසතුර

නා. විචිත්‍රය ; රුව ; ශෝභමාන, අලංකාර රූපය.
වි. විචිත්‍ර ; අලංකාර ; සෝභමාන.

වෙසඹ

1. නා.ප්‍ර. වෙසඟන ; ගණිකාව.
2. නළඟන ; නිළිය.

වෙසරද

1. නා.ප්‍ර. විශාරද භාවය ; නිපුණතාව ; හසල බුද්ධිය ; වෛශාරද්‍යය.
2. විශාරදයා ; උසස් නිපුණතාවෙන් යුක්ත තැනැත්තා.

වෙස්

නා.ප්‍ර. (උද්භි.) 1. එක් එක් කාලවල දී ශාක සංගමයක පෙනුමේ ඇති වෙනස්කම්.
2. වෛශ්‍යයා ; වාණිජයා ; වෙළෙන්දා.
3. වෙස් තට්ටුව බැඳ දක්වන නැටුම් ; උඩරට නැටුම.

වෙස් කුලය

නා. දඹදිව, පැරණි කුලයක නාමය ; වෛශ්‍ය වංශය ; වෙළෙඳ කුලය.

වෙස් ගන්නවා

ක්‍රි. තිබෙන වේශය මාරු කරනවා ; නාට්‍ය ආදිය සඳහා ප්‍රකෘති ස්වරූපය වෙනස් කරනවා ; අමුතු වේශයක් මවා ගන්නවා.

වෙස් තට්ටුව

නා. ප්‍රවීණ බවට පත් යක්දෙස්සන්ගේ හිස පලඳින අලංකාර ආභරණය.

වෙස් පානවා

ක්‍රි. අයිලයට නැගුණු යකැදුරා හිස කරකවමින් පරලය වෙනවා ; නොයෙක් ස්වරූපයෙන් නටනවා.

වෙස් පෙරළනවා

ක්‍රි. වෙස් මාරු කරනවා ; නොයෙක් ස්වරූපයෙන් පෙනී සිටිනවා.

වෙස් බඳිනවා

ක්‍රි. වෙස් නැටුමට වුවමනා ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙනවා.

වෙස් මාරුකරනවා

ක්‍රි. නොයෙක් ස්වරූපයෙන් පෙනී සිටිනවා ; ස්වරූපය වෙනස් කරනවා.

වෙස් මුහුණ

1. නා. යක් නැටුම්, කෝලම් ආදී රැඟුම් සඳහා පලඳින මූණ.
2. ස්වරූපය වෙනස් කර ගැනීමට පැළඳ ගන්නා මුහුණ ; විකාර මූණ.

වෙස් වළහනවා

ක්‍රි. අන්‍ය වේශයක් ගන්නවා ; වෙස් වළාගන්නවා.

වෙස්ටා

1. නා.ප්‍ර. සූර්යයා වටේ ගමන් කරන ග්‍රහයකුගේ නාමය.
2. ග්‍රීක දෙවඟනකගේ නාමය.

වෙසෙනවා

ක්‍රි. වාසය කරනවා ; වසනවා ; ජීවත් වෙනවා.

වෙසෙස

නා. විශේෂය ; විශේෂත්වය ; වෙනස.

වෙසෙසනවා

ක්‍රි. විශේෂ කරනවා ; විශේෂ කොට දක්වනවා.

වෙසෙස්

වි. විශිෂ්ට.
1. නා.ප්‍ර. විශේෂය ; උතුම් බව.
2. (ව්‍යාක.) විශේෂණයට විරුද්ධ පදය.
3. විශේෂණය.
4. ප්‍රතිඵලය.
5. දුක.