සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1618

ශ්වේතකය

නා. වර්ණ ඉවත් කිරීම පිණිස භාවිත කරන ද්‍රව්‍යයක්.

ශ්වේතච්ඡත්‍රය

නා. සුදු කුඩය ; සේසත.

ශ්වේතනය

(පාරිභා.) නා. වර්ණ සුදුපාට කිරීම ; විරංජනය.

ශ්වේතාණුව

නා. සුදු පැහැති අණුවලින් යුත් රුධිරය ; සුදු රුධිරාණුව ; ශ්වේත සෛලය.

ශ්වේතාම්බර

නා.ප්‍ර. සුදු පිළි ; සුදුපාට වස්ත්‍ර.

ශ්වේද

නා.ප්‍ර. ඩහදිය.

ශ්‍යානිය

(පාරිභා.) නා. පණ පිටින් සිටිද්දී නහරයක් තුළ මිදුණු ලේ කැටියක් සෑදීම ; ත්‍රොම්බෝසිස්.

ශ්‍යාම

නා.ප්‍ර. කාල වර්ණය ; ඉතා තද නිල් පාට.

ශ්‍යාලයා

නා. බිරිඳගේ සහෝදරයා ; මස්සිනා.

ශ්‍රද්ධාව

1. නා. විශ්වාසය පදනම් කොට ගැනෙන චෛතසික සම්බන්ධය ; සැදැහැති ගුණය.
2. බුද්ධාදි ගුණ පිළිගන්නා ස්වභාවය.
3. ඇල්ම.

ශ්‍රද්ධාවන්ත

වි. සැදැහැවත් ; දැඩි භක්තියකින් යුත්.

ශ්‍රම විභජනය

නා. ශ්‍රමය බෙදී යෑම ; විශේෂීකරණයට අනුව ශ්‍රමය බෙදීම ; යම් කටයුත්තකට අයත් ශ්‍රමික ක්‍රියාවලිය නිශ්චිත කොටස්වලට බෙදා වෙන් වෙන් වසයෙන් පවරාදීම.

ශ්‍රමණයා

නා. ශ්‍රමණ ධර්ම පුරන තැනැත්තා ; පැවිද්දා ; තාපසයා ; භික්ෂුව.

ශ්‍රමදානය

නා. ශ්‍රමය පරිත්‍යාග කිරීම ; පොදු ජන ශුභ සිද්ධිය සඳහා ස්වේච්ඡාවෙන් ශ්‍රමය වැය කිරීම.

ශ්‍රමය

නා. මහන්සිය ; වෙහෙස ; ශක්තිය වැය කිරීම.

ශ්‍රමික

වි. කය වෙහෙසන ; මහන්සිය යොදන.

ශ්‍රමිකයා

නා. වැඩ කරන්නා ; කම්කරුවා ; වෙහෙස දරන්නා.

ශ්‍රවණ

වි. කන ඇසීම පිළිබඳ ; අසන්නා වූ.

ශ්‍රවණ නාලය

නා. කණ පිළිබඳ වූ හෙවත් ඇසීම පිළිබඳ වූ නාලය.

ශ්‍රවණ පථය

නා. ඇසෙන තෙක් මානය ; ඇසෙන දුර ප්‍රමාණය.

ශ්‍රවණ මානය

(පාරිභා.) නා. ඇසීමේ වෙනස්කම් මැනීමේ උපකරණය ; ශ්‍රව්‍යමානය.

ශ්‍රවණ රමණීය

වි. ඇසීමට සිත්කලු ; ඇසීමෙහි සිත් අලවන ස්වභාවයෙන් යුතු.

ශ්‍රවණ විවරය

(පාරිභා.) වි. කනෙහි සිදුර.

ශ්‍රවණ සංකල්පය

නා. සවන් දී පුරුදු ශබ්දයක් මනසේ මැවීම.