සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1670

සංස්කෘතිය

1. නා. මනුෂ්‍යයා ස්වකීය චින්තන සහ ශාරීරික ශක්තියේ බලයෙන් සංවිඥානිකව නිර්මාණය කරගත් භෞතික හා අභෞතික වස්තු සම්භාරයේ සමස්තය.
2. ඒ ඒ ආගම් ජාති සමාජ අනුව ඇති වූ හැඩගැස්ම ; හැදියාව.

සංස්තරණය

නා. (කුසතණ ආදියෙන් තැනූ) ඇතිරිය ; ඇතිරිල්ල.

සංස්තවය

1. නා. එක් ව විසීම ; සහවාසය.
2. ඇලීම ; තෘෂ්ණාව.

සංස්ථා පත්‍රය

(පාරිභා.) නා. ආයතනයකට අදාළ අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනය.

සංස්ථා ප්‍රකාශය

(පාරිභා.) නා. සමාගමක් හෝ ආයතනයක් පිළිබඳ ව ප්‍රචාරය කරන මුද්‍රිත ලේඛනය.

සංස්ථා විස්තරය

(පාරිභා.) නා. සමාගමකට හෝ සංස්ථාවකට අදාළ අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් ලේඛනය.

සංස්ථානය

1. නා. ආකාරය ; රූප ස්වභාවය.
2. (පාරිභා.) නොයෙක් දේ එකතු කොට සාදා ගන්නා ලද්ද ; නිර්මිතය ; ආකෘතිය.

සංස්ථානික

(පාරිභා.) වි. එක් ස්ථානයකට පමණක් සීමා නොවූ ; මුළු දේහය ම පිළිබඳ වූ.

සංස්ථාපක

(පාරිභා.) වි. නෛසර්ගික ; අත්‍යවශ්‍ය ; අභ්‍යන්තරික.

සංස්ථාපනය

1. නා. මනා කොට පිහිටුවීම ; සකස් කිරීම ; සංස්ථාගත කිරීම.
2. ව්‍යවස්ථාව ; ආණ්ඩු ක්‍රමය.
3. (පාරිභා.) සංවිධානය ; සෑදී තිබෙන ආකාරය.
4. (පාරිභා.) අනුයෝගය ; ගැළපිල්ල.

සංස්ථාපිත

1. වි. මනා සේ ව පිහිටුවන ලද ; ස්ථිර ව පිහිටි.
2. (පාරිභා.) විධිමත් සේ ව්‍යවස්ථානුකූල ව පිහිටුවන ලද ; නීතිගත කරන ලද.

සංස්ථාපිත සමාගම

(පාරිභා.) නා. සංයුක්ත මණ්ඩලය ; නීතිගත කරන ලද ආයතනය.

සංස්ථාපිතය

(පාරිභා.) නා. සංයෝගය ; සම්මිශ්‍රණය.

සංස්ථාව

නා. කිසියම් අරමුණක් ඇති ව නීත්‍යනුකූල ව පිහිටුවන ලද සමාගම ; සංයුක්ත මණ්ඩලය.

සංස්ථිත

වි. මනා ව පිහිටි ; මනා ව සිටියා වූ ; ස්ථාවර.

සංස්ථිති නියමය

(පාරිභා.) නා. වෙනස් නොවී පැවතීමේ නීතිය ; සංස්ථිතිය පිළිබඳ නියමය.

සංස්ථිති පද්ධතිය

(පාරිභා.) නා. ස්ථායි තත්ත්වයක පවතින පද්ධතියක් ; සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වූ පද්ධතියක්.

සංස්ථිති බල

(පාරිභා.) නා.ප්‍ර. කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වු ස්ථායී තත්ත්වයක පවතින බල පද්ධතියක්.

සංස්ථිතිය

1. නා. (පාරිභා.) බාහිර වශයෙන් වෙනස් වුවත් මූල ධර්මතාවෙහි වෙනස්කමක් නොවීම ; සමස්තයක් වශයෙන් තබාගැනීම.
2. වෙනස් නොවී පැවැත්ම ; ස්ථිර ගතිය ; සම්මතයකට එකඟ වීම.

සංස්නිග්ධ

වි. ඉතා සිනිඳු ; සුසිනිඳු.

සංස්පර්ශ ක්‍රමය

(පාරිභා.) නා. සල්ෆියුරික් අම්ලය සාදාගන්නා ක්‍රමයක්.

සංස්මෘතිය

නා. මනා සිහිය ; මනා ස්මරණය.

සංස්ලේෂණය

1. නා. සංයෝගය ; සංයෝජනය.
2. සරල සංයෝගවලින් හෝ මූලද්‍රව්‍යවලින් හෝ යම්කිසි සංයෝගයක් ගොඩ නඟන ක්‍රියාවලියක්.

සංසාධනය

1. නා. සිදු කිරීම.
2. විවාහයක් මෙවුන්දමින් නීත්‍යනුකූල ව පරිසමාප්ත කිරීම.