සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1693

සදිශපථය

(පාරිභා.) නා. සෑම මධ්‍යාහ්න රේඛාවක්ම සමාන කෝණයකින් කැපෙන පරිදි පෘථිවි පෘෂ්ඨයෙහි ඇඳි රේඛාව ; දිගංශ රේඛාව.

සදිසමානය

නා. අන්‍යයන් හා තමන් සමාන කොට සිතීම.

සදිසි

වි. එක හා සමාන වූ ; සදෘශ වූ.

සදෘශ

වි. එක සමාන වූ ; එක ලෙස පෙනෙන්නා වූ ; ඒකාකාර වූ.

සදෘශ්‍ය

වි. සමාන ; බෙහෙවින් අනුරූප වූ ; සමාන බවකින් යුතු වූ.

සදෙස

නා. සියරට ; ස්වකීය දේශය.

සදොල්

නා.ප්‍ර. ශාර්දුලයා ; කොටියා ; දිවියා.

සදොස්

වි. දෝෂ සහිත ; වැරදි සහිත.

සධනී

වි. ධනය සහිත ; ධනවත්.

සධාතුක

වි. ධාතු අඩංගු ; ධාතු සහිත.

සනද

නා.ප්‍ර. සන්නාහය ; යුද ඇඳුම.

සනනවා

1. ක්‍රි. ස්නානය කරනවා ; නානවා.
2. අස්වසනවා ; සනසනවා.

සනරාමර

වි. මිනිසුන් හා දෙවියන් සහිත වූ.

සනහනවා

1. ක්‍රි. අස්වසනවා ; සන්සිඳවනවා.
2. ජල ස්නානය කරනවා ; නානවා.

සනහස

1. නා. තෛලය ; තෙල.
2. සෙනහස ; ඇල්ම ; ආදරය.

සන්

1. නා.ප්‍ර. හැඟීම ; අදහස.
2. අරමුණු හැඳිනගන්නා චෛතසිකය.
3. සිහිය ; සතිය.
4. නාදය ; හඬ.
5. ඉඟිය ; සංඥාව.
6. සටහන ; ලකුණ ; සලකුණ.
7. කැළල.
8. සන්ධිය ; ගැළපීම.
1. වි. වැසුණු ; ගැවසුණු.
2. ශාන්ත ; සන්සුන්.

සන් කටුව

1. නා. සලකුණු කටුව ; සිවුරු මැසීමේදී උපයෝගී කරගන්නා කටුව.
2. අශ්වයන් මෙහෙයුම සඳහා අසරුවා සිය පාවහනේ විලුඹට සවිකර ගන්නා කටුව.

සන්කදෝරුව

(කථා.) නා. සිත් අමනාපය ; සිත් තැවුල.

සන්කර

වි. මිශ්‍ර වූ ; කලවම් වූ.

සන්ගසූරි කටුව

(කථා.) නා. මුරිච්චි පෙත්ත ඇතුළේ ඉස්කුරුප්පු පටවල් කැපීමට සිදුරේ බහා කරකවන කටුව.

සන්ගාතියා

නා. මිත්‍රයා ; යාළුවා.

සන්ගිප්පුව

(කථා.) නා. මනාළ මනාළියන්ට කරන ආසිරි ගී ගැයුම.

සන්ගිලි පාලම

නා. දම්වැල් ආදියෙන් අත්වැල් දමා ඇති එල්ලෙන පාලම.

සන්ගිලිය

(කථා.) නා. ලී සූරන ආයුධයක්.