සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1721

සම්මැති

1. නා.ප්‍ර. කල්පය.
2. කල්පාන්තය.
3. විනාශය.

සම්මිංජය

(පාරිභා.) නා. නැම්ම ; වකුටුවීම ; හැකිළීම.

සම්මිත

නා.ප්‍ර. අන්‍යෝන්‍ය වශයෙන් ගැළපීම ; අනුකූල බව.

සම්මිතිය

(පාරිභා.) නා. (ගොඩනැගිලි ආදියෙහි) අන්‍යෝන්‍ය කොටස් එකිනෙකට සුදුසු සේ ගැළපී පවත්නා බව.

සම්මිලනය

නා. එකට එක් වීම ; ඒකීභූත වීම.

සම්මිල්ල භාෂාව

නා. මන්දස්මිතයෙන් යුත් කථාව ; මඳ සිනා සහිත ව කරනු ලබන කථාබහ.

සම්මිලිත

වි. එක්රැස් වූ ; එකතු වූ.

සම්මිශ්‍ර

වි. මැනවින් මුසු වූ ; එකට මිශ්‍ර වූ.

සම්මිශ්‍රිත ගුණිතය

(පාරිභා.) නා. එකට මිශ්‍ර වූ සංඛ්‍යා ගුණ කිරීමෙන් ලැබෙන රාශිය.

සම්මුඛ

නා.ප්‍ර. අභිමුඛය ; හමුව.
වි. මුහුණට මුහුණ ලා තිබෙන ; ප්‍රතිවිරුද්ධ ව පිහිටි.

සම්මුඛ කෝණය

(පාරිභා.) නා. එක එල්ලේ ඉදිරියෙහි ම පිහිටි කෝණය.

සම්මුඛ තලය

(පාරිභා.) නා. මධ්‍ය තලය ; මධ්‍ය පෘෂ්ටය.

සම්මුඛ පත්‍රය

නා. ඉදිරියෙන් ඇති කොළය ; මුහුණ ලා සිටින පත්‍රය.

සම්මුඛ පරීක්ෂණය

(පාරිභා.) නා. ඉදිරියේ මුණ ගැසී වාචිකව ප්‍රශ්න කොට සුදුසුකම් පරීක්ෂා කිරීම ; හමු වී සුදුසුකම් පරීක්ෂා කිරීම.

සම්මුඛ පාදය

නා. ජ්‍යාමිතික කෝණයක ඉදිරියේ වන පාදය ; කෝණයක එක රේඛාවකට මුහුණ ලා සිටින රේඛාව.

සම්මුඛ මොහොර

(පාරිභා.) නා. එක එල්ලේ ඉදිරියේ පිහිටි රට ඇතුළට නෙරා තිබෙන දළ බෑවුම.

සම්මුඛ විකප්පනය

නා. ඉදිරිපිට දී අන්‍යයකූට පවරාදීම ; අන්‍යයකුට භාරදීම.

සම්මුඛ විවරණය

නා. බුදුරජුන් හමුවෙහි දී ලබන විවරණය.

සම්මුඛ ශ්‍රාවක

නා.ප්‍ර. බුදුරජුන් වැඩ සිටිය දී උන් වහන්සේගේ ශ්‍රාවක බව ලද පුද්ගලයා.

සම්මුඪ

වි. සිහිමුළා වූ ; සිහිසන් නොමැති.

සම්මුති ඔප්පුව

(පාරිභා.) නා. දෙ පක්ෂයක් අතර කැමත්තෙන් ඇතිකර ගන්නා ගිවිසුම.

සම්මුති මරණය

නා. ලෝකයා විසින් මරණය යැයි සම්මත කරගෙන ඇති ජීවිතාවසානය.

සම්මුතිය

1. නා. ව්‍යවහාරය ; පරණ පුරුදු ක්‍රමය.
2. පිළිගැනීම ; අනුමැතිය.
3. ගිවිසුම.

සම්මුළ්හභාවය

නා. සිහිමුළාව ; සිහි නැති අවස්ථාව.