සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1725

සමානකරණ

(පාරිභා.) නා.ප්‍ර. සම සේ සැලකීම ; සමාන කිරීම.

සමානකාරකයා

(පාරිභා.) නා. සමාන බවට පමුණුවන්නා ; සම කරන්නා.

සමානකෝණ රූපය

(පාරිභා.) නා. අංශ දෙකෙහි ම එකම චුම්බක අවපාතය ඇති නැම්ම.

සමානත්වය

නා. සමාන භාවය ; සමබව.

සමානනය

නා. සංසන්දනය ; සැසඳීම.

සමානභාගය

(පාරිභා.) නා. සමාන කොටස ; තුල්‍ය භාගය.

සමාන්තර

වි. එකම අන්තරයක් ඇති ; සමාන පරතරයක් සහිත.

සමාන්තරකය

(පාරිභා.) නා. සමාන්තර ආලෝක කදම්බයක් ලබා ගැනීමේ උපකරණය

සමාන්තරණය

(පාරිභා.) නා. දුරේක්ෂයක බැලීමේ දිසාව සීරුමාරු කිරීම.

සමාන්තරායන සමචතුරස්‍රය

(පාරිභා.) නා. අසම කෝණ ආයත සමචතුරස්‍රය.

සමාන්තික න්‍යාය

(පාරිභා.) නා. උපරිම ප්‍රයෝජනය ලැබෙන සේ සැලසුම් කිරීමේ ක්‍රමය.

සමානාක්ෂක

(පාරිභා.) වි. සම ධ්‍රැවය ඇති ; සම අක්ෂය ඇති.

සමානාත්මතාව

නා. අන්‍යයන් ද තමා හා සම තත්ත්වයෙහි තබා හිතන ස්වභාවය.

සමානාධිකරණය

නා. (ව්‍යාක.) විශේෂණ පදයෙහි ලිංග විභක්ති වචන, විශේෂ්‍ය පදයෙහි ලිංග විභක්ති වචන හා සමාන ව යෙදීම.

සමානාර්ථය

නා. සමාන තේරුම ; සම අරුත ; පර්යාය අර්ථය.

සමානුපාතය

(පාරිභා.) නා. එකක් අනෙකකට විශාලත්වය අතින් දක්වන සම්බන්ධය.

සමානුරූප

(පාරිභා.) වි. රටාවකට සැකසුණු.

සමාපත්ති

නා.ප්‍ර. ධ්‍යාන ආදියෙන් සිත එකඟ කොට විසීම.

සමාප්ත

වි. අවසන් ; නිම.

සමාප්තිය

නා. අවසානය ; කෙළවර ; නිමාව.

සමාප්‍ය

(පාරිභා.) වි. සමාප්ත වන සුලු ; අවසන් කළ හැකි.

සමාබද්ධ

වි. එකට බැඳුණු ; එකට එක් වූ.

සමායත රාජ්‍යය

(පාරිභා.) නා. ස්වාධීන රාජ්‍ය සමූහයක ඒකාබද්ධ ආණ්ඩුව ; එක්සත් රාජ්‍යය.

සමායතනය

1. නා. පොදු අරමුණක් ඉටු කිරීම සඳහා පිහිටුවා ගන්නා සංවිධානය.
2. සංස්ථාව ; තනි පුද්ගලයකුට මෙන් ක්‍රියා කිරීමට බලය ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලය.