සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1741

සරාසන

නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.

සරි

1. වි. සමාන ; සුදුසු.
2. නිවරද ; නිදොස්.

සරික්ඛත

වි. සමාන ; ගැළපෙන ; සදෘශ.

සරිච්චි කරනවා

ක්‍රි. මුසු කරනවා ; එක් කරනවා.

සරිතව්‍ය

වි. සිහි කටයුතු ; අනුස්මරණය කළ යුතු.

සරිත්

1. නා.ප්‍ර. ගංගාව.
2. සිරිත් ; චාරිත්‍ර.

සරිත් වරිත්

නා. අනුගමන කළ යුතු සහ නො කළ යුතු චර්යා ; සිරිත් විරිත්.

සරිය

නා. වර්ග ප්‍රමාණය ; ඉඩ ප්‍රමාණය.

සරියේ

ක්‍රි.වි. සමසේ ; සමාන ලෙස ; හරිහරියට.

සරු

වි. සාරවත් ; ඕජස් සහිත වූ.
නා.ප්‍ර. සත්කාර ; සැලකිලි ; ගරු බුහුමන්.

සරු ජනිතයා

නා. රූපීය හා කායික වසයෙන් බොහෝ දුරට සමාන ජීවීන් දෙදෙනකු අතර සංසේචනය සිදුවීමෙන් බිහි වන ප්‍රජනන ශක්තිය ඇති ජීවියා.

සරු මිශ්‍රණය

නා. දහනයේ දී අධිබලයක් උපදින ඉන්ධන හා වායු මිශ්‍රණය.

සරුංගලය

නා. උණ බට ආදි සැහැල්ලු දැව රාමුවක් මත තුනී සැහැල්ලු කඩදාසි අලවා නූලක් මගින් සුළං දහරාවක් වෙත නැංවිය හැකි විනෝද ක්‍රීඩා භාණ්ඩය ; අහස්පත.

සරුප

1. නා.ප්‍ර. වචන ; කතාබස්.
2. රහස ; විවෘත ලෙස කිව නොහැකි කරුණ.
3. තත්ත්වය ; ආකාරය.
4. නරක වචන ; ඇණුම් පද.

සරුප්

වි. සුදුසු ; යෝග්‍ය ; නිසි ; ගැළපෙන ; කැප.

සරුව පිත්තල

1. නා. සැරසිලි සඳහා ගනු ලබන දිලිසෙන, තුනී ලෝහ මිශ්‍ර කඩදාසි විශේෂයක්.
2. ඇසට කනට ආකර්ෂණ වෙන නිසරු, හර-සුන් දෑ.

සරුවත්

නා.ප්‍ර. පළතුරු යුෂ, සීනි සහ කසකසා නම් ඇට මිශ්‍ර කර සාදනු ලබන සිසිල් බීමක්.

සරුවාලය

නා. රෙද්දක් මෙන් ලිහිල් ව අඳින කලිසම් විශේෂයකි.

සරුසාර

වි. සාරවත්; පොහොසත්.

සරෙත්තුව

නා. (ධීවර) රුවල නැවැත්වීම සඳහා මැදින් දමන ලණුව ; රුවලේ කොටසක්.

සරෙන්තු

නා.ප්‍ර. බළ ඇණියක නිලධරයෙක් ; සැරයන් ; සාජන්ට්.

සරේණුක

වි. පුෂ්පයක බීජ ඉපැදවීමට අවශ්‍ය අංග සහිත ; පුමංගී රේණු සහිත.

සරොම

නා. දකුණු ආසියාතික රටවල පිරිමින් යටිකය වසා ගැනීමට අඳින ඇඳුම.

සරොස්

වි. අධික කෝපයෙන් යුත් ; ක්‍රෝධයෙන් යුත්.