සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1760

ස්තුතිය

1. නා. පැසසුම ; ප්‍රශංසාත්මක කථනය ; බලවත් සතුට ප්‍රකාශ කිරීම ; යම් ක්‍රියාවක් වෙනුවෙන් කෘතඥතාව දැක්වීමේ ප්‍රකාශනය.

ස්තුපිකාව

1. නා. කුඩා චෛත්‍යය.
2. දාගැබ මුදුනෙහි වන කොත.

ස්තුවියර්

නා.ප්‍ර. ලන්දේසීන් භාවිත කළ කාසි වර්ගයක්.

ස්තූත්‍ය

වි. ස්තුති කටයුතු ; ගුණකථනය කළ යුතු.

ස්තූපඅණ්ඩය

නා. ස්තූපයේ පාදයෙහි මැද යූප කණුව පිහිටුවන සිදුර.

ස්තූපපාදය

නා. දාගැබක මුල් අඩිතාලම.

ස්තූපය

නා. දාගැබ ; බුදු, පසේ බුදු, මහරහත්, සක්විති යන උතුමන්ගේ ශරීර ධාතු හෝ අනෙක් පූජ්‍ය වස්තු නිදන් කොට තනන ස්මාරකය ; සෑය ; චෛත්‍යය.

ස්තූපාර්හ

[ස්තූප + අර්හ]
වි. ස්තූප ගොඩනැගීමෙන් ගෞරවය දැක්වීමට යෝග්‍ය.

ස්තූයමාන

වි. ස්තුති කරනු ලබන ; පසසනු ලබන.

ස්තේන

නා.ප්‍ර. හොරා ; චෞරයා.

ස්තේය

නා.ප්‍ර. සොරකම ; අන්සතු දෙය අනවසරයෙන් හැර ගැනීම.

ස්තෝක

වි. අල්ප ; මඳ ; ස්වල්ප.

ස්තෝත්‍ර

නා.ප්‍ර. දෙවියන් රජුන් ආදී ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ස්තුති මුඛයෙන් පවසන පද්‍ය ; තියු ගී.

ස්තෝත්‍රඝෝෂණය

නා. ස්තුති ගීත ගායනයෙන් නංවන රාවය ; ප්‍රභූ අභිවාදනය පිණිස ගයන ගීවල ධ්වනිය.

ස්තෝතෘ

වි. ස්තුති කරන ; ප්‍රශංසා කරන.

ස්තෝමය

1. නා. සමූහය ; රාශිය.
2. ස්තූතිය ප්‍රශංසනය.
3. හිස ; ශීර්ෂය.
4. ධනය ; සම්පත.
5. සස්‍යය.
6. යාගය.

ස්තෝලය

නා. පූජකයින් විසින් පලඳින කරපටිය ; පාදිලි පටිය ; පූජක පටිය.

ස්ථගත

වි. වැසූ ; වසන ලද.

ස්ථපනි

නා.ප්‍ර. නළලේ ඇස් බැමි දෙක අතර පිහිටි මර්මස්ථානය ; දෙබැම මැද නිලය.

ස්ථල විද්‍යාව

(පාරිභා.) නා. යම්කිසි විශේෂ තැනක පිහිටීමේ ස්වභාවය හැදෑරීම.

ස්ථලක

(පාරිභා.) වි. ගොඩබිම පිළිබඳ වූ ; ස්ථල විද්‍යාත්මක.

ස්ථලකය

(පාරිභා.) නා. ස්ථල පිළිබඳ විද්‍යාව.

ස්ථලජ

වි. ගොඩබිම උපන් ; ගොඩබිමෙහි හටගත්.

ස්ථලය

1. නා. ගොඩබිම ; ගොඩැල්ල ; ජලය රහිත භූමි ප්‍රදේශය.
2. සමතලා ප්‍රදේශය ; පැතිර ගිය තලා ප්‍රදේශය ; සමතලාව.
3. (පාරිභා.) පථය පිහිටි ස්ථානය, ප්‍රදේශය.