සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1763

ස්ථිතික ආර්ථික ක්‍රමය

(පාරිභා.) නා. වෙනස් නොවන ආර්ථික ක්‍රමය ; ස්ථාවර තත්ත්වයේ රැඳී පවත්නා ආර්ථික ක්‍රමය.

ස්ථිතික ක්‍රියාවලිය

(පාරිභා.) නා. ඉබේ සිදුවන ක්‍රියාවලිය ; ස්වාභාවික ක්‍රියාදාමය.

ස්ථිතික විද්‍යුතය

(පාරිභා.) නා. අඩුවැඩි නොවන විදුලිය ; ස්ථිති විදුලිය ; ස්ථිතික විද්‍යුත් බලය.

ස්ථිතික විද්‍යුත් නිවාරණය

(පාරිභා.) නා. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රවල බලපැවැත්වීමෙන් උපකරණ මෙවලම් ආදිය ආරක්ෂා කර ගැනීමට ඒවා වටකර තබන ලෝහමය ඵලකයක් හෝ ආරක්ෂකයක්.

ස්ථිතික විශ්ලේෂණය

(පාරිභා.) නා. ජනගහණය පිළිබඳ සංඛ්‍යා විස්තරාත්මක අනුමාන විනිශ්චයකට පත් කිරීමේ දී භාවිත කෙරෙන ශිල්පීය ක්‍රම සමූහය.

ස්ථිතික සමතුලිතතාව

(පාරිභා.) නා. සංඛ්‍යා විස්තරාත්මක අනුමාන නිශ්චයක දී ප්‍රයෝජනයට ගනු ලබන (ආර්ථික) සමබරතාව.

ස්ථිතිකය

නා. චලනය නොවන වස්තූන් එබඳු අනෙක් වස්තුවක් මත යොදන ප්‍රත්‍යාබල හා වික්‍රියා පිළිබඳ යන්ත්‍ර විද්‍යාව.

ස්ථිර දත්

නා.ප්‍ර. කිරි දත් හැළී යාමෙන් පසු එන දත් ; සුහුඹුල් දත්.

ස්ථිර නීතිය

නා. යම් රටක සංස්ථාවක විධායක කටයුතු සඳහා පොදුවේ පවත්නා නීතිය.

ස්ථිර පටකය

(පාරිභා.) නා. සෛල ප්ලාස්මය හා න්‍යෂ්ටිය ද විනාශ වූ සෛලයන් ඇති පටකය.

ස්ථිර ප්‍රතික්ෂේපය

(පාරිභා.) නා. මාරු කිරීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ චෙක්පත් එය නිකුත් කළ අයගේ ගිණුමේ මුදල් නැති වූ විට මුදල් නොගෙවා ආපසු හරවා එවීම.

ස්ථිර ප්‍රතිඥාව

(පාරිභා.) නා. ගනුදෙනුවක් සම්බන්ධ ව ඇති කරගනු ලබන වෙනස් කළ නොහැකි පොරොන්දුව ; ස්ථාවර පොරොන්දුව.

ස්ථිර බින්දුව

(පාරිභා.) නා. උෂ්ණත්ව පරිමාණයක් තීරණය කිරීමට භාවිත කරන සම්මත උෂ්ණත්වය ; අචල ස්ථානය.

ස්ථිර මුල්‍ය වත්කම

(පාරිභා.) නා. යම්කිසි ව්‍යාපාරයක් සඳහා ස්ථිර වශයෙන් මුදලින් යොදනු ලබන වත්කම.

ස්ථිර රාශි

නා.ප්‍ර. ස්ථිර ගුණ ගෙන දෙන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි.

ස්ථිර ලේකම්

නා.ප්‍ර. රාජ්‍ය අමාත්‍යාංශයක ප්‍රධාන ලේකම්වරයා.

ස්ථිර වත්කම

නා. යමකු සතු ඉඩම් ගොඩනැගිලි ආදී නිත්‍ය දේපළ හා එහි වටිනාකම.

ස්ථිර වායුව

(පාරිභා.) නා. පීඩනයෙන් පමණක් ද්‍රව කළ නොහැකි වායුව.

ස්ථිර සමානුපාතය

(පාරිභා.) නා. සෑම රසායනික සංයෝගයක ම ස්ථිර අනුපාතයකින් සංයෝජනයට හේතු වූ මූලද්‍රව්‍ය ඇති බව පෙන්වන නියමය ; ස්ථිර සමානුපාත නියමය.

ස්ථිර හමුදාව

නා. නිත්‍ය බලකාය ; තාවකාලික නොවු යුද්ධ හමුදාව.

ස්ථිරත්වය

නා. තිරබව ; නොසෙල්වෙන ගතිය ; ස්ථිර ස්වභාවය.

ස්ථිරසාර

වි. ඉතා ස්ථිර ; නොසැලෙන ; අචල ; ශක්තිමත්.

ස්ථිරාධිෂ්ඨානය

[ස්ථිර + අධිෂ්ඨානය]
නා. වෙනස් නොවන තීරණය ; නිශ්චිත තීරණය.

ස්ථුණය

(පාරිභා.) නා. උසස් ශාකවල කඳෙත් මුලෙත් ස්නාල පටක සහිත කේන්ද්‍රික කොටස.