සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1780

ස්වාර

(පාරිභා.) වි. ස්වර හා සම්බන්ධ ; කටහඬ පිළිබඳ වූ.

ස්වාර්ථ

වි. තමාගේ යහපත පිණිස වූ ; තමා පිණිස වූ.
නා.ප්‍ර. තමාගේ යහපත ; තම ප්‍රයෝජනය.

ස්වාර්ථකාමී

වි. තමාගේ ම අභිවෘද්ධියට කැමති ; ආත්මාර්ථකාමී.

ස්වාස

1. නා.ප්‍ර. හුස්ම ගැනීම හා පිට කිරිම.
2. හුස්ම.
3. ඇදුම රෝගය.

ස්වාස නාලය

නා. ස්වරාලයේ සිට පෙනහැල්ල දක්වා හුස්ම වායුව ගෙන යන නාලය.

ස්වාස්ථ්‍ය

වි. සෞඛ්‍යාරක්ෂක.

ස්වාස්ථ්‍යය

නා. ආරෝග්‍යය ; සනීපය ; සුඛිතබව ; සැපවත්බව.

ස්වාස්පුට

(පාරිභා.) නා.බහු. අංගාරික වායුව ඇද ගන්නා, වෘක්ෂලතා ආදියෙහි කොළවල ඇති විවර.

ස්විච්

(පාරිභා.) නා.ප්‍ර. විදුලිබලය ගලා ඒමට හා වැළැක්වීමට උපයෝගී කරගන්නා උපකරණය ; ස්විච් එක ; ස්විච්චිය.

ස්විච් පුවරුව

(පාරිභා.) නා. ස්විච් සමූහයක් සවිකර ඇති පුවරුව.

ස්විච් පෙට්ටිය

(පාරිභා.) නා. ස්විච් සවිකර ඇති පෙට්ටිය.

ස්විච් යතුර

(පාරිභා.) නා. මෝටර් රියක ඇන්ජිම ක්‍රියාත්මක කිරීමට මෙහෙයවන යතුර.

ස්විච්චි පේනුව

(පාරිභා.) නා. විදුලිය ලබා ගැනීම පිණිස කෙවෙනියට සවි කරන කොටස ; ඇබය.

ස්වින්න

වි. ස්වේද ගැන්වූ ; වාෂ්පයෙන් තැම්බූ.

ස්වීකරණය

(පාරිභා.) නා. ආහාර ජීර්ණය කොට උරා ගැනීමෙන් පසු ජීව ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීම.

ස්වීකාර්ය

(පාරිභා.) වි. ස්වීකරණය කළ හැකි.

ස්වීය

වි. ස්වකීය ; තමාට අයත්.

ස්වෙටර්

නා.ප්‍ර. ශීතය මග හරවා ගැනීමට උඩුකය වැසෙන සේ අඳින ලෝම ඇඳුමක්.

ස්වේච්ඡා

වි. සිය කැමැත්තෙන් යුත් ; කැමැත්තෙන් ඉදිරිපත් වූ.

ස්වේච්ඡා ආයතනය

(පාරිභා.) නා. සිය කැමැත්තෙන් ඉදිරිපත් වී යම් සේවාවක යෙදෙනවුන් විසින් පිහිටුවා ගෙන ඇති ආයතනය.

ස්වේච්ඡා සමාගම

(පාරිභා.) නා. ස්වේච්ඡා සේවයෙහි නිරත සමාගම.

ස්වේච්ඡාව

නා. ස්වකීය අභිමතය ; තමන්ගේ කැමැත්ත.

ස්වේද

නා.ප්‍ර. දහඩිය.

ස්වේද ග්‍රන්ථිය

(පාරිභා.) නා. ඩහදිය නිපදවන ග්‍රන්ථිය.