සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1789

සාමකාමී

වි. ආරාවුල් ඇතිකර ගැනීමට අකමැති ; සාමය කැමති ; එකමුතු බව අපේක්ෂා කරන.

සාමග්‍රිය

නා. සමගිය ; එකමුතු බව ; සමඟිභාවය.

සාමණේර

නා.ප්‍ර. සම්බුද්ධ ශාසනයෙහි පැවිදිව උපසම්පදාව නොලැබූ භික්ෂු නම.

සාමණේරිය

නා. සම්බුද්ධ ශාසනයෙහි පැවිදි ව උපසම්පදාව නොලැබූ භික්ෂුණිය.

සාමදාන විනිශ්චයකාර

නා.ප්‍ර. අධිකරණ බලතල රහිත නිල නාමයක් ; වගකිව යුතු ලියකියවිලි ආදිය සහතික කිරීම සඳහාත් සාමය රැකීම සඳහාත් රජයෙන් ඇතැම් ප්‍රභූන්ට දෙන ගරු නාමයක්.

සාමදානය

නා. සාමය, සමගිය ඇතිකර ගැනීම.

සාමන්ත

1. වි. ආසන්න ; අසල්වැසි ; ළඟපාත.
2. ප්‍රාන්තයක් පාලනය කරන ; ප්‍රධාන රජකු යටතේ කුඩා ප්‍රදේශයක් පාලනය කරන.
3. (පාරිභා.) අවයවයක නෙත්තියෙහි තිබෙන.

සාමන්ත රාජ්‍යය

නා. අධිරාජ්‍යයකට යටත් වූ රාජ්‍යය ; යටත් රාජ්‍යය.

සාමන්තයා

නා. මධ්‍යම පාලනයට යටත්ව ප්‍රදේශයක් පාලනය කරන්නා ; ප්‍රාන්තයක් ආණ්ඩු කරන්නා.

සාමය

1. නා. එකමුතු බව ; සාමකාමී බව ; සමාදානය ; කලකෝලාහල ආදියෙන් තොර බව.
2. ආම සහිත බව ; නොදිරූ ආහාර සම්බන්ධයෙන් කියැවේ.

සාමයික

1. වි. ඒ ඒ සමයට අයත් ; ඒ ඒ කාලපරිච්ඡේදයට උචිත ; කාලානුරූප.
2. (පාරිභා.) කලින්කල සිදුවන ; වරින් වර ඇති වන.

සාම්පරායික

1. වි. පරලොවට අයත්.
2.පරලොව දී විපාක දෙන.

සාම්පලය

නා. යමක සම්පූර්ණ ලක්ෂණ පෙන්නුම් කරන කුඩා කොටස ; යමක ආකෘති මෝස්තරය ; ආදර්ශය ; නියැඳිය.

සාම්ප්‍රදායික

වි. සම්ප්‍රදායට අයත් ; සම්ප්‍රදාය අනුව ගිය ; පාරම්පරිකව පැවත එන ක්‍රමයට අදාළ.

සාම්බානි

නා.ප්‍ර. ගිනිඅඟුරු මතට දැමූ විට සුවඳ දුම් උපදවන දුම්මල විශේෂයක් ; කට්ටකුමංජල්.

සාම්‍ය සමීකරණය

(පාරිභා.) නා. සදෘශ වූ සමීකරණය ; සාම්‍ය වූ සමීකරණය.

සාම්‍යකරණය

(පාරිභා.) නා. 1. සම කිරීම ; විරුද්ධ බලයක් යෙදීමෙන් බලය නැතිකිරීම.
2. යමක් උදාසීන බවට පත් කිරීම ; උදාසීනකරණය ; නිර්වීර්ය කරණය.

සාම්‍යය

නා. වස්තු දෙකක් අතර අන්‍යෝන්‍ය පවතින සමානබව ; සම තත්ත්වය ; සදෘශ භාවය.

සාමාජික

වි. සමාජයට අයත් ; සමාජය පිළිබඳ හෝ ඒ හා සම්බන්ධ.

සාමාජික මුදල

නා. තමා බැඳී සිටින සමාගම් ආදියකට සාමාජිකයකු වශයෙන් ගෙවිය යුතු මුදල.

සාමාජිකත්වය

නා. සමාගමකට හෝ සංවිධානයකට හෝ නිසා සාමාජිකයකු ලෙස සම්බන්ධ වීම නිසා ලැබෙන අයිතිවාසිකම.

සාමාජිකයා

1. නා. සමිති සමාගම් හෝ කිසියම් සංවිධානයකට හෝ අයත් තැනැත්තා.
2. යම්කිසි ව්‍යාපාරයක කොටස්කරුවකු වශයෙන් බැඳුණු තැනැත්තා.

සාමාන්යිත

(පාරිභා.) වි. සාමාන්‍ය හෙවත් පොදු බවට පැමිණි හෝ පත් කළ.

සාමාන්‍ය

1. වි. සියල්ලන්ට ම අයත් ; පොදු ; විශේෂ නොවූ.
2. (පාරිභා.) සරල ; සුළු.