සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1790

සාමාන්‍ය ජැක්කුව

(පාරිභා.) නා. සාමාන්‍ය බරක් එසවීමේදී භාවිත කරනු ලබන මෙවලමක්.

සාමාන්‍ය තාපය

නා. දවසේ මධ්‍ය තාපය ; සාමාන්‍ය උෂ්ණත්වය.

සාමාන්‍ය තුලාව

(පාරිභා.) නා. පොදුවේ ඕනෑම භාණ්ඩයක් කිරා බැලීමට උපයෝග කර ගන්නා තරාදිය.

සාමාන්‍ය ද්‍රව මානය

(පාරිභා.) නා. ද්‍රවවල විශිෂ්ට ගුරුත්වය මැනීම සඳහා භාවිත කරන පොදු උපකරණයක්.

සාමාන්‍ය දාමචක්‍රය

(පාරිභා.) නා. සුනම්‍ය සමජාතීය නූලක් දෙකෙළවරින් ආධාර දෙකක නිදැල්ලේ එල්ලූ විට ගුරුත්වයේ ක්‍රියාකාරිත්වය නිසා පිහිටන පොදු චක්‍රය.

සාමාන්‍ය නියෝගය

නා. විශේෂ නොවන අණ ; පොදු නීතිය.

සාමාන්‍ය පදය

(පාරිභා.) නා. විශේෂ නොවන පදය ; පොදු වූ වචනය.

සාමාන්‍ය ප්‍රවේගය

(පාරිභා.) නා. යම්කිසි දිශාවකට චලනය වීමේ පොදු ශීඝ්‍රතාව.

සාමාන්‍ය පීඩනය

(පාරිභා.) නා. 1. පෘෂ්ඨයක වර්ග ඒකකයක් මත ක්‍රියා කරන බලය.
2. වායුගෝලයේ වාතය හා ගැටෙන පිටිතලයකට ලැබෙන බර.

සාමාන්‍ය භාගය

(පාරිභා.) නා. දශම භාග ලියන ආකාරයට නොව, සාමාන්‍ය අන්දමට ලියන ලද භාග ගණනක්.

සාමාන්‍ය විභේදය

(පාරිභා.) නා. ආතතිය භූ චලනයක් නිසා පෘථිවි පෘෂ්ඨයේ විභේදනයක් ඇති ව, ඒ හා සම්බන්ධ පාෂාණ ස්තර විභේද තලය ඔස්සේ ඉහළට හෝ පහළට තල්ලුවීමෙන් සෑදෙන භූ රූපය.

සාමාන්‍යකරණය

(පාරිභා.) නා. සිද්ධි කිහිපයක් පමණක් පදනම් කරගෙන බැස ගන්නා පොදු නිගමනය.

සාමාන්‍යය

නා. කිසියම් දෙයක පොදු ප්‍රමාණය ; මධ්‍ය ප්‍රමාණය ; සාමාන්‍ය ගණන ; මධ්‍යන්‍යය.

සාමාන්‍යයෙන්

ක්‍රි.වි. විශේෂ නොවන ආකාරයෙන් ; පොදු වශයෙන්.

සාමාන්‍යවේගය

නා. යම්කිසි වාහනයක් ගමන් කරන පොදු ශීඝ්‍රතාව.

සාමාන්‍යාධිකාරී

නා.ප්‍ර. රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ සංස්ථාවක හෝ කාර්යාංශයක වගකීම භාර විධායක නිලධාරියා.

සාමි

1. නා.ප්‍ර. ස්වාමියා ; ප්‍රධානියා ; ප්‍රභූවරයා.
2. ස්වාමීන් වහන්සේ ; තෙරුන් වහන්සේ.
3. ස්වාමි පුරුෂයා.
4. පූජ්‍ය වස්තුව.
5. හින්දු පූජකයා ; පූසාරි.
6. සප්ත විධ භාර්යාවන්ගෙන් එක් වර්ගයක්.
7. අර්ධය ; අඩ.

සාමි දුව

නා. නිවසක ප්‍රධාන තැනැත්තිය ; ගෘහණිය ; ස්වාමි දුව.

සාමි මන්ත්‍රී මණ්ඩලය

නා. එංගලන්තයේ රදළ පවුල්වලට අයත් ප්‍රභූවරුන්ගෙන් හෙවත් සාමිවරුන්ගෙන් සෑදුණු උත්තර මන්ත්‍රී මණ්ඩලය ; සාමි මණ්ඩලය.

සාමිචි

නා.ප්‍ර. සුවදුක් කතා බස් කිරීම ; පිළිසඳර.

සාමිචී කර්මය

නා. වැඩිහිටියන්ට කළයුතු සත්කාරය ; උවටැන් ආදී සංග්‍රහය.

සාමීචිපටිපන්න

වි. සුදුසු වූ පිළිවෙතට පැමිණි ; සාමීචි කර්මයන්ට සුදුසු.

සාමීප්‍ය

1. වි. සමීපයෙහි පිහිටි ; ආසන්න.
2. (පාරිභා.) යාබදව පිහිටි කාබන් පරමාණුවල ආදේශ කෙරුණු.

සාමුද්‍ර

වි. මුහුදට අයත් ; මුහුද හා සම්බන්ධ ; මුහුදෙහි වූ.