සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1812

සිප්සතර

නා.ප්‍ර. ශිල්ප ශාස්ත්‍රය.

සිපාචාර

නා.ප්‍ර. සිපීමෙන් කරන ආචාර ; ආලිඞ්ගනයෙන් කරන ආචාරය.

සිපි

1. නා.ප්‍ර. මුහුදේ වසන මෘද්වංශී සත්ත්වයෙක් ; සක්බෙල්ලා.
2. සක්බිලි කටු ; සිප්පි කටු.

සිපිකරු

නා.ප්‍ර. ශිල්ප ඥානය ඇත්තා ; ශිල්පය දන්නා පුද්ගලයා ; ශිල්පියා.

සිපිරිගෙය

නා. සිරකරුවන් රඳවා ඇති ස්ථානය ; හිරගෙදර ; බන්ධනාගාරය.

සිපොනැප්ටෙරා

නා.ප්‍ර. මැක්කා අයත් සත්ත්ව ගෝත්‍රය.

සිබ්බනකාර කුල

නා.ප්‍ර. මැහුම් කර්මාන්තය අයත් කුලය ; සන්නාලි වංශය.

සිබ්බනය

නා. මැහීම ; ගෙත්තම් කිරීම.

සිබිඩ්ඩ

(කථා.) නා. කොස් ඇටයේ පොත්තට පිටින් ඇති සිනිඳු සිවිය.

සිබිල්ල

නා. ගස්වල දිරාගිය පොත්ත.

සිබෝරියම

නා. (ක්‍රිස්ති.) සත්ප්‍රසාද පූපය තබන පාත්‍රය.

සිඹිනවා

1. ක්‍රි. සිප ගන්නවා.
2. ආඝ්‍රාණය කරනවා ; (යමක් මුවට ළං කිරීමෙන්) ගඳ සුවඳ ආඝ්‍රාණය කරනවා.

සිඹිලිය

(කථා.) නා. කෙණ්ඩි විශේෂයක් ; පිනිදිය ආදිය ඉසීම පිණිස භාවිත කෙරෙන සිදුරු සහිත කෙමිය ඇති කෙණ්ඩිය.

සිය

1. නා.ප්‍ර. සියය.
2. චිතකය ; දරසෑය.
3. නිරන්තරය.
වි. ස්වකීය ; තමන්ගේ ම.

සියක් ලක්ෂය

නා. ලක්ෂ සියයක ප්‍රමාණය ; කෝටිය.

සියකෙළ

නා.ප්‍ර. සියක් කෝටිය.

සියත

නා. ස්වකීය හස්තය ; තම අත.

සියදෑ මිදිපැන්

නා.ප්‍ර. මිදියුෂ ; මිදි පලින් පෙරා ගත් බීම (දිය නුමුසු මිදි පැන් විය හැකියි).

සියන

නා. ඡදනය ; වහල ; පියස්ස.

සියන් තලය

නා. සියනට හෙවත් වහලට යටින් දැව හෝ අන් ලෑලි වර්ගයකින් යොදන තට්ටුව ; සිවිලිම.

සියපත

නා. ශත පත්‍රය ; නෙළුම්මල ; පියුම.

සියපත්

වි. සියගණන් පත්‍ර ඇති.

සියපත්සිය

නා.ප්‍ර. පෙති සියයක් ඇති පද්මයෙහි ස්වකීයයා වන සූර්යයා ; ඉර.

සියපා

1. නා.ප්‍ර. පාද සියගණනක් ඇත්තා ; පත්තෑයා.
2. සූර්යයා.
3. ශතපාකය.