සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1852

සූර්ය ඝටිකාව

නා. සූර්යයාගේ ගමන අනුව වේලාව බලාගන්නා උපකරණය ; සූර්ය හෝරා තැටිය.

සූර්ය තාපය

නා. හිරුගෙන් ඇතිවන උණුසුම ; ඉර අවුව.

සූර්ය දිනය

නා. මාසයෙන් තිහෙන් පංගුව ; දවස ; පැය 24ක දිනය.

සූර්ය දීප්තිමානය

(පාරිභා.) නා. සූර්යකගේ රශ්මිය එක් ස්ථානයක පවත්නා කාලය මැනගන්නා උපකරණය ; සූර්යාලෝක සූචකය.

සූර්ය දූරකය

(පාරිභා.) නා. සූර්යයා නාභියක් වශයෙන් පවතින මධ්‍ය කක්ෂයක දුරාන්තික රේඛාවේ සූර්යයාගෙන් ඈත ම ලක්ෂ්‍යය.

සූර්ය නිවෘත්තිය

(පාරිභා.) නා. සූර්යයා සමකයෙන් දුරස්ථව ම පිහිටන අවස්ථා දෙක ගිම්හාන සූර්ය නිවෘත්තිය ජූනි 21 දා ද, ශිශිර සූර්ය නිවෘත්තිය දෙසැම්බර් 22 දා ද සිදුවේ.

සූර්ය පුටය

නා. හිර අවුවෙන් බෙහෙත් කකාරා ගන්නා ක්‍රමයක්.

සූර්ය බිම්බය

නා. සූර්ය මුහුණත ; සූර්ය මණ්ඩලය ; හිරුමඬල.

සූර්ය ලප

(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් විට සූර්යයා මතුපිට පවතිමින් විද්‍යුත් තරංග ආදියට බාධා පමුණුවන කළු ලප.

සූර්ය වර්ණාවලිය

(පාරිභා.) නා. සූර්යයාගේ විද්‍යුත් චුම්බක විකිරණයේ වර්ණ සප්තකය ; සූර්යවර්ණ පටය.

සූර්ය වර්ෂය

නා. සූර්යයා වටේ පෘථිවියට ගමන් කිරීමට ගත වන කාලය.

සූර්ය විකිරණමානය

(පාරිභා.) නා. සූර්යයාගෙන් නිකුත් වෙන විද්‍යුත් චුම්බක මැනීම සඳහා ගැනෙන උපකරණය.

සූර්ය විකිරණය

(පාරිභා.) නා. සූර්යයා විසින් නිකුත් කරන විද්‍යුත් චුම්බක සහ කුඩා කැබලි.

සූර්ය ශක්තිය

(පාරිභා.) නා. හිරු විද්‍යුත් චුම්බක විකිරණ ආකාරයෙන් නිකුත් කරන ශක්තිය.

සූර්ය සංශතය

(පාරිභා.) නා. දිවා රෑ දිගින් එක සමාන කරමින් සූර්යයා සමකය හරහා යන දින දෙක වන මාර්තු 20 සහ සැප්තැම්බර් 23.

සූර්ය සමීපකය

(පාරිභා.) නා. සූර්යයා වටා ගමන් කරන කවර හෝ ආකාශ වස්තුවක කක්ෂයේ සූර්යයාට ආසන්නත ම ලක්ෂ්‍යය.

සූර්යක

නා.ප්‍ර. සැහැල්ලු, ගිනි නොගන්නා වායුවක් ; හීලියම් වායුව.

සූර්යග්‍රහ මණ්ඩලය

නා. සූර්යයාත් එහි බලය හා සම්බන්ධ ග්‍රහයන් උපග්‍රහයන් සමූහය ; සූර්යයා ප්‍රධාන කොට පවතින ග්‍රහ පංතිය ; සෞරග්‍රහ මණ්ඩලය.

සූර්යග්‍රහණය

නා. හිරුත් පෘථිවියත් අතරට සඳ පැමිණීමෙන් සඳට හිරු මුවා වී නොපෙනීම.

සූර්යතාපය

නා. හිරුගේ තද රශ්මිය ; ඉර අව්ව ; සූර්ය රශ්මිය.

සූර්යදර්ශක කණ්ණාඩිය

නා. රශ්මියෙන් ඇසට බාධාවක් නොවන සේ හිරු දෙස බැලීමට භාවිත කරන කණ්ණාඩිය.

සූර්යදර්ශය

(පාරිභා.) නා. සූර්යයා වෙනත් ග්‍රහයනට බලපෑම.

සූර්යයා

නා. හිරු ; රිවි.

සූර්යවංශය

නා. දඹදිව සහ ලංකාවේ පැවති ප්‍රධාන රාජවංශ දෙකින් එකක නාමය ; හිරු කුලය.