සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 201

අසුර සඞ්ග්‍රාමය

නා. අසුර යුද්ධය; සුරයන් හා අසුරයන් අතර වූ සඞ්ග්‍රාමය.

අසුරගුරු

නා.ප්‍ර. අසුරයන්ගේ ගුරුවරයා; සිකුරු ග්‍රහයා.

අසුරරිපු

නා.ප්‍ර. අසුරයන් සතුරු කොට ඇති තැනැත්තා; ශක්‍රයා හෝ විෂ්ණු.

අසුරු මිට

නා. ඇඟිලි තුඩින් ගත හැකි ප්‍රමාණය.

අසුරුසන

නා. අසුරු ගැසීමෙන් හට ගැනෙන ශබ්දය.

අසුරේන්ද්‍රයා

නා. අසුරයන්ගේ ප්‍රධානයා; අසුර නායකයා.

අසූමහසව්වෝ

නා.බහු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් අසූනම.

අසූයාව

නා. ඊර්ෂ්‍යාව.

අසෙන

නා.ප්‍ර. අකුණ; හෙණය.

අසෙනිය කුසුම්

නා.බහු. ගෞරව භක්තිය දැක්වීම සඳහා ද පූජෝපහාරයක් වශයෙන් ද විසුරුවනු ලබන විලඳ; වීපොරි.

අසේඛ

වි. අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මීමක් තවදුරටත් අවශ්‍ය නොවන.
නා.ප්‍ර. ශෛක්ෂධර්මයන් ඉක්ම අර්හත්ඵලයෙහි සිටි පුද්ගලයා; රහතන්වහන්සේ.

අසේඛභූමි

නා.ප්‍ර. රහත්බව; අර්හත් ඵලය.

අසේඛමුනි

නා.ප්‍ර. අර්හත්ඵලයෙහි පිහිටි මුනිවරයා.

අසේවනීය

වි. අනුගමනය නොකළ යුතු; පුරුදු පුහුණු නොකළ යුතු.

අසේව්‍ය

වි. සේවනය නොකටයුතු.

අසේවිත

1. වි. සේවනය නොකරන ලද.
2. වි. භාවිත නොකරන ලද.

අසෝ

1. වි. ශෝක නැති; නිශ්ශෝක.
2. වි. අසවල්; එබඳු.

අහ

1. නා. අද්දර; කෙළවර; වාටිය.
2. නා. පැත්ත; දිශාව; ප්‍රදේශය.
නා.ප්‍ර. දිනය; දවස.

අහක දමනවා

ක්‍රි. ඉවතට දමනවා.

අහක් කරනවා

ක්‍රි. පැත්තට කරනවා; ඉවත් කරනවා; අස් කරනවා.

අහඞ්කාර

වි. උඩඟු; ආඩම්බර.

අහනවා

1. ක්‍රි. ශ්‍රවණය කරනවා; සවන් දෙනවා.
2. ක්‍රි. විමසනවා.

අහපති

නා.ප්‍ර. දිනපති; සූර්යයා; අහර්පතියා.