සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 200

අසාර

වි. අරටුවක් නැති; සාරයක් නැති; සශ්‍රීක නැති; නිසරු.

අසාර්ථක

වි. සාර්ථක නොවූ; නිරර්ථක; නිෂ්ඵල.

අසාරූප්‍යය

නා. නොසරුප්බව; සුදුසු නොවන්න; නුසුදුස්ස.

අසැකි

නා.ප්‍ර. ගණන් කළ නොහැකි ඉතා දීර්ඝ කාලපරිච්ඡේදයක්; අසංඛ්‍ය; ගිණිය නොහැකි.

අසි

1. නා.ප්‍ර. කඩුව.
2. නා.ප්‍ර. ගිනිදැල්ල; ගිනිසිළ.

අසික්කිත

(කථා.) වි. ශික්ෂණයක් නැති; නොදැමුණු; නොහික්මුණු.

අසිග්ගාහක

නා.ප්‍ර. රජුගේ කඩුගන්නා නිලධාරී තනතුර; කාල්වඩන්නා.

අසිත

1. වි. තද නිල් හෝ කළු පැහැති; කාළ වර්ණ.
2. වි. අනුභව කරන ලද.
1. නා.ප්‍ර. තද නිල් හෝ කළු පැහැය; කාළ වර්ණය.
2. නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා.
3. නා.ප්‍ර. චන්ද්‍රමාසයක කාළ පක්ෂය.
4. නා.ප්‍ර. නපුරු සිත.
5. නා.ප්‍ර. පුදුමය.

අසිත ස්‍රාවය

(පාරිභා.) නා. ලෙයින් කළුපාට වූ අසූචි වැගිරීම; ලේ මුසුවීමෙන් කළු පැහැ ගත් මල පහවීම.

අසිතල

නා.ප්‍ර. කඩුපත; අසිපත.

අසිථිල

වි. ලිහිල් නොවූ; ස්ථිර; දැඩි.

අසිපත

1. නා. කඩුපත.
2. නා. උරෝස්ථියේ පහළ කෙළවර ඇති කඩුපතක කෙළවරක් වැනි කාටිලේජීය ප්‍රසරය.

අසිරි

වි. ආශ්චර්යවත්; අද්භූත.
1. නා.ප්‍ර. ආයුෂ; ආසිරි.
2. නා.ප්‍ර. අභාග්‍යය; ව්‍යසනය.

අසිරිමත්

වි. පුදුම එලවන; ආශ්චර්යවත්.

අසීමිත

වි. සීමා නොකරන ලද; සීමා රහිත.

අසීරුව

නා. අමාරුව; අපහසුව.

අසු

1. නා.ප්‍ර. කඳුළු; අශ්‍රැ.
2. නා.ප්‍ර. මුල්ල; අහුමුල්ල; කොණ.
3. නා.ප්‍ර. සිදුර; විවරය.
4. නා.ප්‍ර. අශ්වයා.

අසු අස්සෙන්

ක්‍රි.වි. අතරින්; මැදින්.

අසුත

වි. නොඅසන ලද; නොඇසූ.

අසුන්

1. නා.ප්‍ර. හිඳගන්නා තැන; ආසන.
2. නා.ප්‍ර. මල් පුදන මැස්ස; මල් ආසන.
3. නා.ප්‍ර. පණිවිඩය; ලිපිය.

අසුන්පත

නා. ලිපිය; ශාසන පත්‍රය.

අසුබ

1. වි. ප්‍රසාදජනක නොවූ; පිළිකුල්.
2. වි. අනිෂ්ට; අයහපත්; අශුභ.

අසුමස්සේ

ක්‍රි.වි. ඉඳහිට; විටින්විට.

අසුර

1. නා.ප්‍ර. එනම් දේව විශේෂය.
2. නා.ප්‍ර. රාහු ග්‍රහයා.
3. නා.ප්‍ර. සූර්යයා.
4. නා.ප්‍ර. ඇඟිලි තුඩු එක් කොට නොහොත් අත්ල බොකුටු කොට ගත හැකි ප්‍රමාණය; මිට; අහුර.

අසුර ගසනවා

(කථා.) ක්‍රි. මහපටැඟිල්ල සහ මැදැඟිල්ල එකට ගැටීමෙන් ක්ෂණික ශබ්දයක් නිකුත් කරනවා; අසුරුසන් දෙනවා.