සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 199

අස්වෛරී

වි. ස්වාධීන නොවූ; තමා කැමති සේ නොපවතින.

අස්සත්ථරක

නා.ප්‍ර. අසුන් පිට ලන ඇතිරිල්ල.

අස්සද්දනවා

ක්‍රි. අස්වද්දනවා.

අස්සද්ධෙය්‍ය

වි. නොඇදහිය හැකි; විශ්වාස කළ නොහැකි.

අස්සරම

නා. අශ්ව සරඹ; අශ්වාරෝහණය පිළිබඳ අභ්‍යාසය; අශ්ව ශිල්පය.

අස්සල

නා. අශ්වයන් බඳින ශාලාව; අස්හල.

අස්සලයා

නා. අසුන් බලන්නා.

අස්සානික

නා.ප්‍ර. අශ්ව සේනාව; අශ්වාරෝහක බළ ඇණිය.

අස්සාස

නා.ප්‍ර. ඇතුළට ගන්නා නාසිකා වාතය; ආශ්වාසය.

අස්සාස - පස්සාස

නා.ප්‍ර. හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම; ආශ්වාස ප්‍රශ්වාසය.

අස්සු

නා.ප්‍ර. කඳුළු; අශ්‍රැ.

අසාත

වි. අමිහිරි; අමධුර; දුක් ගෙන දෙන.

අසාත්ම්‍ය

වි. අහිත; අපථ්‍ය.

අසාත්මිකතාව

(පාරිභා.) නා. ශරීර ගත වුණු ද්‍රව්‍යවලට, බෙහෙවින් ප්‍රෝටීනවලට ශරීරයේ සෛල අසංවේදීව පවතින අවස්ථාව (=allergy, allergia).

අසාදු

වි. අයහපත්; නීරස.

අසාදෘශ්‍ය

වි. අසමාන; අසාරුප්‍ය.

අසාධක

වි. සිද්ධ නොකරන; ඉෂ්ට නොවන.

අසාධ්‍ය

වි. සුව කළ නොහැකි; පිළියම් කළ නොහැකි.

අසාධාරණ

1. වි. සාධාරණ නොවූ; අන්‍යයන් හා පොදු නොවූ; අන්‍යයන් හා සමාන නොවන.
2. වි. යුක්ති සහගත නොවන; අයුතු; සාධාරණකමට විරුද්ධ.

අසාධු

වි. අයහපත්; නොමනා; දුෂ්ට; නරක.

අසාමග්‍රය

නා.ප්‍ර. අසමගිය; සමගි ව නොපැවැත්ම.

අසාමර්ථ්‍යය

නා. අසමර්ථ බව; අසමත් බව.

අසාම්‍ය

වි. අසමාන; අසම.

අසාමාන්‍ය

වි. සාමාන්‍ය නොවූ; විශේෂ.