සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 223

ආභස්සර

නා.ප්‍ර. බ්‍රහ්ම ලෝකයක නාමය.

ආභ්‍යන්තර

වි. ඇතුළු; ඇතුළෙහි පිහිටි; මධ්‍යගත.

ආභාව

නා. කාන්තිය; දීප්තිය; වර්ණ ශෝභාව; ආලෝකය.

ආභාෂණය

නා. ආමන්ත්‍රණය; (ඔවුනොවුන් හා) කථා කිරීම.

ආභාසය

1. නා. කාන්තිය; ආලෝකය; ප්‍රභාව.
2. නා. ආකාරය; අනුරූපය.
3. නා. ආනුභාව; බලපෑම.
4. (පාරිභා.) නා. මායාව; මුළාව; මිථ්‍යාව (=fallacy).

ආභිධර්මිකයා

නා. අභිධර්මය උගත් තැනැත්තා; අභිධර්මයෙහි දක්ෂයා.

ආභූජනය

නා. සිතා බැලීම; ආවර්ජනය; මෙනෙහි කිරීම.

ආභෝගය

1. නා. ව්‍යාප්තිය; විස්තාරය; පරිපූර්ණතාව.
2. නා. සිතා බැලීම; මෙනෙහි කිරීම; කල්පනාව; චේතනාව.

ආම

1. වි. අමු; නොපිසූ.
2. වි. පිඟන් ගඩොල් ආදිය මෙන් නොපුළුස්සන ලද.
3. වි. නොපැසුණු; නොමේරූ; නොඉදුණු.
4. වි. නොදිරූ; අජීර්ණ.
1. නා.ප්‍ර. ආහාර නොදිරවීමෙන් ඇති වන රෝගය; අජීර්ණය.
2. නා.ප්‍ර. අමු මස්.

ආම වාතය

නා. අජීර්ණයත් මලබද්ධයත් නිසා වා පිත් සෙම් යන තුන් දොස කිපීමෙන් ඇති වන එනම් රෝගය.

ආමන්ත්‍රණය

නා. ඇමතීම; ආරාධනය; කැඳවීම.

ආමර්ශනය

නා. ස්පර්ශ කිරීම; අතගෑම; අල්ලා ගැනීම; ග්‍රහණය.

ආමර්ෂය

නා. තරහ; ක්‍රෝධය.

ආමලසය

(පාරිභා.) නා. ආමාශයෙන් ක්ෂුද්‍රාන්තයට ඇතුළුවන බාගෙට දිරවූ අර්ධ ද්‍රව ආහාරය (=chyme).

ආමසනය

නා. ගෑවීම; ස්පර්ශ කිරීම; ඇල්ලීම.

ආම්පන්න

නා.බහු. කර්මාන්තාදියට උවමනා උපකරණ; මෙවලම්.

ආම්ල

නා.ප්‍ර. ඇඹුල්.

ආම්ලිකතාව

1. නා. ඇඹුල් ගතිය; අම්ල ප්‍රමාණය.
2. නා. රුධිරයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය සාමාන්‍ය සීමාව ඉක්මවා යෑම (=acidosis).

ආමාජීර්ණය

නා. ආහාර නොදිරවීමෙන් වන උදරාබාධය.

ආමාශ විද්‍යාව

(පාරිභා.) නා. ආමාශය හා බඩවැල් පිළිබඳ කරුණු දක්වන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය (=gastroenterology).

ආමාශය

නා. ගලනාලයේ අග සහ කුඩා බඩවැල අතර පවතිමින් ආහාර පැසවීමේ කාර්යය කරන මල්ලක් වැනි අවයවය; ආහාර බොක්ක.

ආමාශයික

වි. ආමාශය පිළිබඳ; ආමාශය හා සම්බන්ධ; ජඨරීය.

ආමාශයික යුෂය

(පාරිභා.) නා. ආමාශයේ ස්‍රාවණය; ආහාර දිරවීමට උපකාර වන දියර; ජඨරීය යුෂය (=gastric juice).

ආමිස දානය

නා. කෑම්බීම්, ඇඳුම් පැලඳුම්, යාන වාහනාදි වස්තු දන් දීම.