සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 224

ආමිස පූජාව

නා. චීවරාදි සිවුපසය පිදීම.

ආමිස ලාභය

නා. වස්තු ලාභය; ධන ලාභය.

ආමිසය

1. නා. ආහාරය; පරිභෝග වස්තු; (භික්ෂූන් සඳහා) සිවුපසය වැනි ලෞකික අවශ්‍යතා.
2. නා. ලාභ ප්‍රයෝජනය; වාසිය.
3. නා. පංචකාම වස්තු.

ආමුක්ත

වි. පැලඳ ගත්; බඳින ලද.
නා.ප්‍ර. අඳින ලද වස්ත්‍රය; යුද්ධයෙහි ඇඳගත් වස්ත්‍රාභරණාදිය.

ආමෘෂ්ට

වි. ආමර්ශනය කරන ලද; ස්පර්ශ කරන ලද.

ආමෙන්

නි. (ක්‍රිස්ති.) බොහෝ විට යාච්ඥාවකට පසු ව එසේ ම වේවා යන ප්‍රාර්ථනයෙන් යුක්ත ව කියනු ලබන ව්‍යවහාරය.

ආමෝදය

1. නා. සතුට; සන්තෝෂය; සොම්නස; ආනන්දය.
2. නා. සුගන්ධය.

ආයත

1. වි. දික් වූ; දීර්ඝ.
2. (පාරිභා.) වි. දීර්ඝ වෘත්තාකාර; දීර්ඝ චතුරස්‍රාකාර.
3. වි. දීර්ඝාකාර; දික් අතට පවත්නා (=longitudinal).

ආයත චතුරස්‍රය

නා. අභිමුව පැති දෙකක් ඉතිරි පැති දෙකට වඩා දික් වූ චතුරස්‍රය.

ආයත නිම්නය

(පාරිභා.) නා. ප්‍රධාන කඳුවැටි විහිදීම හා සමාන්තර ව පවතින නිම්නය; ආයතගාමී නිම්නය.

ආයත පණ්හි

නා.ප්‍ර. බුදු රජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් එකක් වන පිරුණු දික් වූ විළුම් ඇති බව.

ආයතන සංග්‍රහය

නා. රජයේ දෙපාර්තමේන්තු සංස්ථාදියේ පරිපාලන කටයුතු පිළිබඳ නීතිරීති ඇතුළත් ග්‍රන්ථය.

ආයතනය

1. නා. වාසස්ථානය; නිවාසය.
2. නා. කිසියම් විශේෂ පොදු අරමුණක් සඳහා පිහිටුවා ගන්නා සංගමය හෝ සංවිධානය.
3. නා. මධ්‍යම යුගයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් වුණු ආගමික මූලස්ථානය.
4. නා. දෙවියන් පුදන තැන; පූජාසනය.
5. නා. රෝග නිදානය හෝ හේතුව.
6. (අභි.) නා. ආකාසනඤ්චායතන ආදි බ්‍රහ්ම තල.
7. (අභි.) නා. විදර්ශනා ඥානය වැඩීමට ආධාර වන සය වැදෑරුම් ඇස්, කන් ආදි අභ්‍යන්තර වූ ද, සය වැදෑරුම් රූප, ශබ්ද ආදි බාහිර වූ ද ධර්ම.

ආයත්ත

1. වි. (යමක් කෙරෙහි) එල්බ පවතින; රඳා පවත්නා.
2. වි. අයත්; සතු.
3. වි. යටත්; හීලෑ; වසඟ.

ආයති කාලය

නා. මතු කාලය; අනාගත කාලය.

ආයමුඛය

1. නා. ඇතුළු වන දොරටුව; ප්‍රවේශද්වාරය.
2. නා. ආදායම් උපදින මාර්ගය.

ආයව්‍යය

නා.ප්‍ර. ආදායම හා වියදම්; අයවැය.

ආයා

නා. ළදරුවන් රැක බලා ගන්නා සේවිකාව; කුල කාන්තාවන්ගේ ආවතේවකාරිය.

ආයා කටුව

නා. යතුරු කටුව; හැට්ට කටුව.

ආයාචක

(පාරිභා.) නා.ප්‍ර. ආයාචනය කරන්නා; අයදින්නා (=pleader).

ආයාචනය

1. නා. ඉල්ලා සිටීම; අයැදුම.
2. (පාරිභා.) (නීති.) නා. කරුණු දැක්වීම; ඇපෑල (=plea).

ආයාචිත

වි. යාච්ඤා කරන ලද; අයදනා ලද; යදින ලද.

ආයාත

1. වි. ආවා වූ; පැමිණියා වූ.
2. (පාරිභා.) වි. විදේශයෙන් ගෙනා හෙවත් ගෙන්වන ලද; ආනයනය කරන ලද (=imported).

ආයාත වෙළඳාම

(පාරිභා.) නා. පිටරටින් බඩු ගෙන්වීමෙන් කරන වෙළඳාම; ආනයන වෙළඳාම (=import trade).