සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 233

ආවේශය

නා. පිවිසීම; (යක්ෂාදින්) වැහීම හෙවත් ආරූඪ වීම.

ආශංසනය

නා. ප්‍රාර්ථනය; ශුභ පැතීම; ආශීර්වාදය; ආශිංසනය.

ආශඞ්කනය

නා. සැකය; සැක කිරීම.

ආශඞ්කා

1. නා.ප්‍ර. සැකය; අවිශ්වාසය
2. නා.ප්‍ර. භය; චකිතය.

ආශය

1. නා.ප්‍ර. ලගින තැන; තිප්පොළ; නිවාසය; රක්ෂා ස්ථානය.
2. නා.ප්‍ර. (ද්‍රවයක්) රඳා තිබෙන තැන.
3. නා.ප්‍ර. ද්‍රව්‍යයෙන් හෝ වාතයෙන් හෝ පිරුණු පටලමය කෝෂය; සත්ත්ව ශරීරය තුළ යම්කිසි කාර්යයක් සඳහා ඇති පටලමය කෝෂය හෙවත් බොක්ක.
4. නා.ප්‍ර. අර්ථය; අදහස; පරමාර්ථය.

ආශයිකාව

(පාරිභා.) නා. ද්‍රව හෝ වායුව අඩංගු කුහරය (=vesicle).

ආශ්චර්ය

වි. අද්භූත; පුදුම; විස්මය ජනක.

ආශ්චර්යය

නා. අපූර්ව දර්ශනය හෝ සිදුවීම; අද්භූතය; අරුමය; විස්මය; මවිතය.

ආශ්චර්යවත්

වි. පුදුම සහගත; විස්මය එළවන; අසිරිමත්.

ආශ්ලේෂය

නා. වැලඳ ගැනීම; වෙළා ගැනීම.

ආශ්වාස ප්‍රශ්වාසය

නා. හුස්ම ගැනීම හා පිට කිරීම.

ආශ්වාසක

වි. ධෛර්යවත් කරන; සනසන; අස්වසන.

ආශ්වාසකය

නා. අස්වැසීම; සැනසිල්ල.

ආශ්වාසය

1. නා. ශරීරය තුළට හුස්ම ගැනීම; හුස්ම ඇතුළට ගැනීම.
2. නා. අස්වැසීම; සැනසිල්ල.
3. නා. කථාවක කොටස හෙවත් පරිච්ඡේදය.

ආශ්‍රමපදය

නා. තවුසන්ගේ වාසභූමිය හා එහි පරිසරය; අසපුව; ආශ්‍රමය.

ආශ්‍රමය

1. නා. තවුසකුගේ වාසස්ථානය; තාපසාරාමය; පන්සල; අසපුව.
2. නා. ( හින්දු ඉගැන්වීමට අනුව ) ආර්යයකු ජීවිත කාලයේ ගත කළ යුතු බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ හා සන්‍යාසි යන අවස්ථා සතර.

ආශ්‍රය

1. නා. යමකට අදාළ වූ හෝ යමක් රඳා පවත්නා තැන; පදනම; ආධාර ස්ථානය; නිවාසය.
2. නා. යමක් හා එක් ව පවත්නා හෙවත් යමක් ඇසුරු කරන දෙය; ඇසුර ‍; නිශ්‍රය; සමාගමය; සේවනය.
3. නා. (සතුරන් මැඩීම සඳහා) ප්‍රබල රජකු සේවනය කිරීම නොහොත් ඔහුගේ පිහිට සොයා යෑම.

ආශ්‍රය ස්ථානය

1. නා. යමක් රඳා පවත්නා ස්ථානය; ආධාරකය.
2. නා. රක්ෂා ස්ථානය.

ආශ්‍රව

නා.ප්‍ර.බහු. (අභි.) හාත්පසින් වැගිරෙන්නාක් මෙන් ද, බෝ කලක් පිළුණු වූවාක් මෙන් ද සැලකිය යුතු පාපධර්ම; සිත අපිරිසිදු කරන ක්ලේශ; ආසව.

ආශ්‍රවක්ෂයකර ඥානය

නා. (අභි.) ආශ්‍රවයන් හෙවත් ක්ලේශයන් ක්ෂය කිරීමේ නුවණ; ආසවක්ඛය ඤාණය.

ආශ්‍රවධර්ම

නා.ප්‍ර. (අභි.) කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ක්ලේශ ධර්ම.

ආශ්‍රිත

1. වි. ඇසුරු කළ; සේවනය කළ; සම්බන්ධ වූ.
2. වි. වාසය කළ; ගැවසුණු.
3. (පාරිභා.) වි. සහභාග; සංගත; හවුල් (=associated).

ආශ්‍රිතය

නා. යමක රඳා පවත්නා දෙය; ආධේයය.

ආශ්‍රේය

වි. ආශ්‍රය කිරීමට සුදුසු; ඇසුරු කළ මනා.