සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 232

ආවාරය

(පාරිභා.) නා. සෛල යුග්මයක් හෝ කූප දෙකක් හෝ පටක සමූහ හෝ අතර ඇති හරස් බිත්තිය නොහොත් භාජකය; සෛල කුහර කුඩා කාමරවලට බෙදන තුනී තන්තුව (=septum, partition).

ආවාසය

1. නා. වාසය කරන ස්ථානය; වසන තැන.
2. නා. භික්ෂූන් වාසය කරන ආරාමය; තාපසාරාමය.

ආවාසික

වි. ආවාසයක් ඇති; ආවාසයක වසන.

ආවාසිකයා

නා. ආවාසයක වසන භික්ෂුව.

ආවාහ මගුල

නා. කාන්තාවක සරණ පාවා ගෙන ඒමේ උත්සවය; මනාලියක කැඳවාගෙන ඒමේ මංගල්‍යය.

ආවාහ විවාහය

1. නා. කාන්තාවක සරණපාවා ගෙන ඒම.
2. නා. කාන්තාවක සරණපාවා දීම.

ආවාහනය

නා. කැඳවීම; ආරාධනා කිරීම.

ආවාහය

නා. භාර්යාවක කැඳවා ගෙන ඒම.

ආවැඩීම

1. නා. ආයුබෝ වේවා යි, දීර්ඝායු වේවා යි පැතීම; සෙත් පැතීම.
2. නා. ලාභ සත්කාර ආදිය සඳහා පුද්ගලයකුගේ ක්‍රියාමාර්ග අනුමත කිරීම.

ආවැන්දුම

නා. දෙවියන් සතුටු කිරීමට නටන නැටුම් විශේෂයක නාමය; කොහොඹා කංකාරියට අයත් ශාස්ත්‍රීය නර්තන අංගය.

ආවිර්භාවය

නා. පහළවීම; ප්‍රත්‍යක්ෂ වීම; බාහිර වශයෙන් පෙනෙන්ට වීම; දැක්වීම.

ආවිල

වි. කැලඹුණු; බොර වූ.

ආවිෂ්කරණය

නා. ප්‍රකට කිරීම; හෙළි කිරීම; අනාවරණය; සොයා ගැනීම.

ආවිෂ්කෘත

වි. ප්‍රකට කරන ලද; හෙළි කරන ලද.

ආවිෂ්ට

වි. (යක්ෂ භූත දේවාදින්) ආවේශ වූ හෙවත් වැහුණු; ආරූඪ වූ.

ආවෘත

1. වි. ආවරණය වූ; වැසුණු; සැගවුණු.
2. වි. වට කරනු ලැබූ; පරිවේෂ්ටිත; විවෘත නොවූ.

ආවෘත බීජකය

(පාරිභා.) නා. ඩිම්බ කෝෂය තුළ සංවර්ධනය වන බීජ ඇති සපුෂ්ප ශාකය (=angiosperm).

ආවෘත්තය

නා. වටප්‍රමාණය; පරිධිය.

ආවෘත්තිය

1. නා. හැරීම; කරකැවීම; ආපසු හැරීම.
2. නා. නැවත කීම; පුනරුච්චාරණය.

ආවෘත්‍යලංකාරය

නා. (අලං.) නැවත නැවත කීම ලක්ෂණ කොට ගත් කාව්‍යාලංකාරය.

ආවේගය

නා. සිතෙහි ඇති වන කලබල බව හෝ ඉක්මන්කම; උද්වේගය; ප්‍රාණවත් හැඟීම.

ආවේඨනය

නා. එතීම; වෙළීම; වට කිරීම; ආවේෂ්ටනය.

ආවේණික

1. වි. විශේෂ වූ; වෙන් වූ; අන්‍යයන් හා සාධාරණ නොවූ.
2. වි. නොකඩවා පවත්වා ගෙන ආ; පරම්පරාවෙන් උරුම වූ; පාරම්පරික,

ආවේණිය

(පාරිභා.) නා. පරම්පරාවෙන් පරම්පරාවට ගතිගුණ ලක්ෂණ උරුම වීමේ ශක්තිය.