සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 246

ඇඹුම් කවි

නා.බහු. බලියාග සඳහා රූප ඇඹීම කළ යුතු ආකාරය දක්වන කවි.

ඇඹුල

1. නා. අම්ලය; දෙහි ආදි ඵලවල ඇති අම්ල රසයෙන් යුතු යුෂය; අම්ල රසය; ඇඹුල් රසය ප්‍රධාන කොට තිබෙන සේ පිළියෙල කරන ලද ව්‍යංජන විශේෂයක්.
2. (කථා.) නා. කෙතේ හෝ ගොවිපොළේ හෝ වැඩ කරන්නන් සඳහා පිළියෙල කළ ආහාරය.

ඇඹුල් කබල

(කථා.) නා. රන් රිදී ආභරණාදිය ශුද්ධ කිරීම පිණිස ගනු ලබන ඇඹුල් ද්‍රව පිරවූ භාජනය.

ඇඹුල් කාඩි

1. නා.ප්‍ර. බතින් පෙරූ පැසවා ගත් දිය; ඇඹුල් කැඳ; ලුණු කැඳ.
2. නා.ප්‍ර. විනාකිරි.

ඇඹුල් කැඳ

1. නා. බතින් පෙරූ කැඳ; ලුණු කැඳ.
2. නා. පලා කොළ දමා පිසූ ඇඹුල් රසැති කැඳ.

ඇඹුල්තියල

(කථා.) නා. අඹරාගත් ගොරක, කුළුබඩු සහ ලුණු මිශ්‍ර කර ද්‍රවගතිය සිඳවා පිළියෙල කරනු ලබන මාළු වෑංජනය.

ඇඹුල්පලා

නා.ප්‍ර. ඇඹුල් රසය ප්‍රධාන කොට සාදාගත් පලා මාළුව; පලා ඇඹුල.

ඇඹුල්පොලොස්

(කථා.) නා.ප්‍ර. ඇඹුලට හෙවත් මාළුවට ගන්නා ළපටි කොස්.

ඇඹුලුපක්

නා.ප්‍ර. ආමලක ඵලය; නෙල්ලි ගෙඩිය.

ඇඹෙණිය

නා. අඹුව; භාර්යාව.

ඇඹෙනවා

ක්‍රි. සෑහෙනවා; ප්‍රමාණවත් වෙනවා.

ඇයිහොඳයිය

නා.ප්‍ර. ආශ්‍රය; හිතවත් බව; මිත්‍රත්වය.

ඇර

1. නා. චිත්ත විකාරය; සිත් වියවුල.
2. නා. එකොළොස.
3. නා. නැටුම්හි දී ගනු ලබන එක්තරා වේශයක්.

ඇර දක්වනවා

ක්‍රි. ගෙන හැර පානවා; ඉදිරිපත් කරනවා; පෙන්නුම් කරනවා.

ඇර දමනවා

1. ක්‍රි. අත් හරිනවා; හැර දමනවා.
2. ක්‍රි. විවෘත කර තබනවා.

ඇරපියනවා

ක්‍රි. අත්හැර දමනවා; අත අරිනවා.

ඇරයුම

නා. ආරාධනාව; ඉල්ලීම.

ඇරවැර

නා.ප්‍ර. මැරවරකම; අනර්ථය.

ඇරුම්

නා.ප්‍ර. භික්ෂූන් හෝ තාපසයන් හෝ වසන තැන; ආරාමය.

ඇල වෙනවා

1. ක්‍රි. ලම්බක නොවී පැත්තකට නැමෙනවා ; අංශයකට බර වෙනවා.
2. ක්‍රි. හාන්සි වෙනවා; හේත්තු වෙනවා.

ඇලදිව

නා. ආමාශයට පිටිපසින් ග්‍රහණියේ සිට පිලාව දක්වා විහිදී ඇති ඉන්ද්‍රිය; අග්න්‍යාශය.

ඇලපත

1. නා. ශරීරයේ අංශයේ කිහිල්ලට පහළ හා ඉඟටියට ඉහළ කොටස; ශරීර පාර්ශ්වය.
2. නා. වෙල් යායක වැව සමීපයේත් ඊට විරුද්ධ පාර්ශ්වයේත් කුරුලු පාළු නමින් හැඳින්වෙන ලියැදි දෙකට සමීප ම ලියැදි දෙක.

ඇලපිල්ල

නා. ව්‍යංජනාරූඪ ‘ආ’ ස්වරය දැක්වීම පිණිස යොදන පිල්ල; ‘ා’ ලකුණ.