සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 247

ඇලපුම්

නා.ප්‍ර. ආලපනය; කැඳවීම.

ඇලඹ

[ඇල් + අඹ]
නා. ඇල් වතුර; ශීතල ජලය.

ඇලය

1. නා. පැත්ත; පාර්ශ්වය; අංශය.
2. නා. ඇදය; ලම්බක නොවී පැත්තකට නැමුණු බව; අංශයකට බර බව.

ඇලළුම් ඌෂ්මකය

(පාරිභා.) නා. චීනච්චට්ටි, සිද්ධ යකඩවලට පරිවර්තනය කිරීමේ දී භාවිත කෙරෙන ඌෂ්මකය (=puddling furnace).

ඇල්

වි. සීතල; සිසිල්.
1. නා.ප්‍ර. ගොඩ ඉඩම්වල වගා කරන වී වර්ගයක්.
2. නා.ප්‍ර. ශීතල භාවය; සිසිල්.

ඇල් කෙත

නා. ඇල් වී හේන; ශාලි ක්ෂේත්‍රය.

ඇල් ගොවියා

නා. ඇල් කෙතක් වගා කරන තැනැත්තා හෙවත් වපුරන තැනැත්තා.

ඇල් ජලය

නා. ශීතල වතුර; උණු නොකළ වතුර; ඇල්වතුර.

ඇල් තෙලිදිය

නා. නොපැසුණු රා; මීරා.

ඇල් මරනවා

ක්‍රි. (වතුරෙහි) ශීතල ගතිය නැති කරනවා; (වතුර) යම්තම් උෂ්ණ කරනවා.

ඇල් මැඩිවානේ

(පාරිභා.) නා. වායුගෝලීය උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වයක මඬින ලද වානේ (=cold rolled steel).

ඇල් සමය

නා. ශීතල කාලය; ශීත ඍතුව.

ඇල්කලයින්

(පාරිභා.) නා.ප්‍ර. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ක්ෂාරීය ද්‍රාවණයක් සෑදීම පිණිස ගැනෙන ජල ද්‍රාවණීය වන ද්‍රව්‍යයක් (=alkaline).

ඇල්කලොයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. පැළෑටිවල ඇති ස්වාභාවික කාබනික භස්ම (=alkaloid).

ඇල්කොහොල්

(පාරිභා.) නා.ප්‍ර. මද්‍යසාරය; මත්පැන් (=alcohol).

ඇල්ගෙවි

නා.ප්‍ර. ඇල් කෙත් රකින හෝ ඇල් කෙතක වැඩ කරන හෝ ස්ත්‍රය; ශාලි ගෝපිකාව.

ඇල්ටි මීටරය

(පාරිභා.) නා. මුහුදු මට්ටමේ සිට උස මැනීමට භාවිත කරන වායුපීඩන උච්චමානය (=altimeter). මානය;

ඇල්නල

නා.ප්‍ර. සිහිල් සුළඟ; සීතල මාරුතය.

ඇල්පා

නා.ප්‍ර. ග්‍රීක් හෝඩියේ මුල් අකුර.

ඇල්බියුමන්

(පාරිභා.) නා.ප්‍ර. බිත්තර සුදුමදය; බීජවල තැන්පත්ව ඇති පෝෂ්‍යදායක ද්‍රව්‍යය(=albumen).

ඇල්බියුමින්

(පාරිභා.) නා.ප්‍ර. ජලයෙහි දියවන ප්‍රෝටීන් සමූහයක් (=albumin).

ඇල්ම

1. නා. බැඳීම; ඇලීම ;ආලය; ස්නේහය.
2. නා. එළදෙන අලුත වැදූ වසුපැටියා ආරක්ෂාව පිණිස සඟවා තබන තැන; තුරුල්ල.
3. නා. ලීයක පවතින ඇදය; කැපීමේ දී ලීයෙහි හෑරී ගිය ස්ථානය.

ඇල්මේ තියනවා

(කථා.) ක්‍රි. (එළදෙන) අලුත වැදූ වසුපැටවා ආරක්ෂාව පිණිස සගවා තබනවා.

ඇල්ල

1. නා. කඳුමතින් නොකඩවා ඇද හැළෙන ජලධාරාව; ජලධාරාව; දියඇල්ල; නිර්ඣරය.
2. නා. සුළං පහර; සීතල වායුධාරාව.
3. නා. ප්‍රපාතය; පල්ලම.
4. නා. කාල පරිච්ඡේදය; කාලය.