සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 245

ඇබිත්තයා

නා. භික්ෂූන්ට ආවතේව කරන්නා; භික්ෂූන්ගේ මෙහෙකරුවා.

ඇම

වි. සියලු; සකල; හැම.
1. නා. සියලු දෙනා; හැම දෙනා.
2. නා. සියලු දෙය, සියල්ල.
3. නා. යම් සතකු අල්ලා ගැනීමට බිළියෙහි අමුණන ගොදුර.
4. නා. තමාගේ අදහසට අනෙකකු නොදැනුවත්වම පොලඹවා ගැනීම සඳහා දෙන දීමනාව හෝ ඊට යොදන උපක්‍රමය.

ඇමතියා

නා. රජයේ කාර්යාංශයක් හෝ කාර්යාංශ කිහිපයක් හෝ භාර ව සිටින තැනැත්තා.

ඇමතුම

නා. ආමන්ත්‍රණය; කැඳවීම.

ඇමයිනෝ අම්ලය

(පාරිභා.) නා. මේද අම්ලවල හයිඩ්‍රොකාබන් සමූහවල හයිඩ්‍රජන් පරමාණු වෙනුවට ඇමයිනෝ සමූහ ආදේශ කිරීමෙන් ලැබෙන කාබනික සංයෝගය (=amino acid).

ඇමරි කුඩු

නා.ප්‍ර. ඇමරි නම් ඛනිජ ද්‍රව්‍යයේ කුඩු හෙවත් සුනු.

ඇමරිකඩදාසි

නා.ප්‍ර. (ලෝහ, වීදුරු ආදිය මැදීමට ගන්නා) ඇමරි කුඩු අලවා සකස් කළ කඩදාසිය.

ඇම්පියරය

(පාරිභා.) විද්‍යුත්ධාරාව මනින ඒකකය (=ampere).

ඇම්බ්‍රොයිඩරි

නා.ප්‍ර. රෙදිවල නොයෙක් පැහැති නූල්වලින් කරන විසිතුරු මැහුම් වැඩ; සැරසිලි මැහුම් (=embroidery).

ඇම්බැට්ටයා

(කථා.) නා. දැළිරැවුල් රැවුල් බාන්නා; කොණ්ඩා කපන්නා; කරනැවෑමියා.

ඇම්ම

නා. (ශරීරයේ රෝගී ස්වභාවයක් නිසා) හිස, ඇලපත, පපුව ආදි තැන්වල වරින් වර හටගන්නා තද වේදනාව.

ඇම්මෙනවා

ක්‍රි. ඉවසිලිමත් වෙනවා; ඉවසනවා; ඉවසීමෙන් බලාපොරොත්තුව සිටිනවා.

ඇම්මෝරුව

(කථා.) නා. මසුන් මැරීම සඳහා යන ප්‍රධාන ඔරුවට ඇම අල්ලා දෙන කුඩා ඔරුව; ඇම්මරුව.

ඇමැට්ටිය

නා. වේදනාව හා ඉදිමුම ඇති වන පරිදි ශරීරයේ සන්ධිස්ථානයක් හදිසියෙන් හෝ අහම්බෙන් ඇදීයෑම හෝ ඇඹරී යෑම; උළුක්කුව.

ඇමිණි ඔරුව

(කථා.) නා. රත් කළ යකඩ බැස්සීමට කම්හල්කරුවන් පාවිච්චි කරන වතුර පුරවන ලද කුඩා ඔරුවක් වැනි භාජනය.

ඇමියාව

නා. ආහාර නොදිරවීම; අජීර්ණය.

ඇමීටරය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරාව මැනීමේ උපකරණයක් (=ammeter).

ඇමීබයසියාව

(පාරිභා.) නා. එන්ටැමිබා හිස්ටොලිටිකා නම් ඇමීබාවන්ගෙන් සෑදෙන රෝග හඳුන්වන නාමය; ඇමීබා අතීසාරය (=amoebiasis).

ඇමීබා අතීසාරය

(පාරිභා.) නා. එන්ටැමිබා හිස්ටොලිටිකා නම් ඇමීබාවාගෙන් මහාන්ත්‍රයෙහි හටගන්නා ලෙඩවලින් එකක් වූ අතීසාර රෝගය (=amoebic dysentery).

ඇමීබාවා

නා. පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් සූක්ෂ්ම වූ නිත්‍ය හැඩයක් නැති තනි සෛලයකින් යුත් ක්ෂුද්‍ර ප්‍රාණියා (=amoeba).

ඇමෝනියා

නා.ප්‍ර. ප්‍රබල ක්ෂාරීය ප්‍රතික්‍රියා ඇත්තා වූ ද ඉතා සැර ගඳකින් යුක්ත වූ ද අවර්ණ වායුවක්.

ඇඹණි

නා.ප්‍ර. භාර්යාව; අඹුව.

ඇඹරුම් දත්

නා.බහු. හනු දෙකෙළවර ඇති පුළුල් දත්; චාර්වක දත්.

ඇඹරුම්ගල

නා. මිරිස් ආදි කුළු බඩු ද ධාන්‍ය ආදිය ද අඹරන ගල.

ඇඹුන්මිනිස්

නා.ප්‍ර. ස්ත්‍රිය; ගැහැනිය.