සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 30

අච්චිමන්ත

වි. ගිනිසිළු ඇති; දිලිසෙන; වහ්නිමය.

අච්චු අකුරු

නා. මුද්‍රණය සඳහා භාවිත කෙරෙන ලෝහ ආදියෙන් තනා ගත් අකුරු; එම අකුරු භාවිතයෙන් හෝ නවීන ක්‍රම භාවිතයෙන් හෝ මුද්‍රණය කරන ලද අකුරු.

අච්චු කන්තෝරුව

නා. මුද්‍රණ කටයුතු කරන යන්ත්‍රාලය; මුද්‍රණාලය.

අච්චු කඳ

1. නා. කරත්තයේ අලවංගුව සවිකරන හරස් ලීය.
2. නා. තුවක්කුවේ අතින් අල්ලා ගන්නා කොටස; තුවක්කු වල්ල; අච්චු වල්ල.

අච්චු කරනවා

ක්‍රි. කරන ලද වරදකට දඬුවම් දෙනවා; දඬුවම් පමුණුවනවා.

අච්චු කූර

නා. තුවක්කුවේ වෙඩිල්ල සවි කිරීමට යොදන කූර; තුවක්කුවේ වෙඩි බෙහෙත් කොටන කෙවිට.

අච්චු ගසනවා

ක්‍රි. පොත්, පුවත්පත් ආදිය මුද්‍රණය කරනවා.

අච්චු බටය

(කථා.) නා. හීන් බටලී නළයකට කිරිල්ල ආදි ගෙඩි වර්ග යොදා වෙඩි තබන සෙල්ලම් බට තුවක්කුව.

අච්චු මුද්‍රණය

(පාරිභා.) නා. අච්චු මෝස්තරයකට අනුව රෙදි ආදිය මෝස්තර මුද්‍රණය; (=block printing).

අච්චු යන්ත්‍රය

නා. මුද්‍රණ යන්ත්‍රය; මුද්‍රණ කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍රය.

අච්චු ලෑල්ල

1. නා. යම් ආකෘතියක සටහනින් යුත් පුවරුව හෙවත් ලෑල්ල.
2. නා. කරත්තයේ අච්චු කඳට උඩින් සවි කළ හරස් පුවරුව.

අච්චු වල්ල

නා. තුවක්කුවේ අතින් අල්ලන ලී මිට සහිත කොටස; තුවක්කු මිට.

අච්චුත

වි. පහ නොවන; නොගිලිහෙන.
නා.ප්‍ර. චුත නොවන තත්ත්වය; නිර්වාණය.

අච්චුව

1. නා. ඉටි, මැටි ලෝහ ආදියෙන් පිළිම, රූ ආදිය අඹා ගැනීම පිණිස කරන ලද ආකෘතිය; කාසි, ආභරණ, උළු, ගඩොල් ආදිය සෑදීමට ඒ ඒ සැලැස්ම අනුව තනා තිබෙන රාමුව හෝ කෝව.
2. නා. පිටපත් ගැනීම සඳහා ලෝහයෙන් හෝ ලීයෙන් හෝ කැපූ අකුරු සටහන; මුද්‍රාකඩය.
3. නා. එක සමාන හැඩරුව ඇති දෙය.
4. නා. රෙදි විවීමේ දී භාවිත කරන ලී රාමුව.
5. නා. කරත්තයේ තට්ටුව දරා සිටින හරස් ලීය; කරත්ත අලවංගුව.
6. නා. තුවක්කුවේ අතට අල්ලා ගන්නා කොටස; තුවක්කු වල්ල; අච්චු වල්ල.
7. නා. යම් වරදකට දෙනු ලබන දඬුවම; විපාකය; වධය.

අච්චෝදාත

වි. ඉතා සුදු; අධික සුදු පැහැ ඇති.

අච්ඡ

වි. පැහැදිලි; බබළන; ප්‍රසන්න.

අච්ඡකාස්ථිය

(පාරිභා.) නා. උර ඵලකාස්ථියේ කෙළවරින් පටන් ගන්නා ඇටය; ග්‍රීවාස්ථිය (= clavicle, collar bone).

අච්ඡන්දික

වි. ඇල්මකින් තොර; ඡන්දයෙන් තොර වූ; (කුසල් කිරීමෙහි) කැමැත්තක් නැති.

අච්ඡන්න

වි. නොවැසුණු; වසන් නොවූ; ප්‍රසිද්ධ.

අච්ඡරා

නා.ප්‍ර. අප්සරාව; දෙවඟන.

අච්ඡාදනය

1. නා. හැඳීම; පෙරවීම.
2. නා. වස්ත්‍රය; පිළිය; සළුව; අඳනය.

අච්ඡිද්‍ර

1. වි. සිදුරු නොවූ; කුහර නැති.
2. වි. අකලංක.

අච්ඡිද්‍ර නාභිය

නා. සිදුරු රහිත නැබ; බුදුරජාණන් වහන්සේගේ අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණවලින් එකක්.

අච්ඡින්දනය

නා. පැහැර ගැනීම; උදුරා ගැනීම; බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.