සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 31

අච්ඡින්දාපනය

නා. අනුන් ලවා සොරකම් කරවා ගැනීම.

අච්ඡින්න

1. වි. නොකැඩුණු; නොබිඳුණු; අඛණ්ඩ.
2. වි. පැහැර ගන්නා ලද; සොරකම් කළ.

අච්ඡින්න ධාරාව

නා. නොකැඩී වැගිරෙන දිය ධාරාව; නොනැවතී වැගිරෙන දියත්ත.

අච්ඡේදනය

නා. සිඳ නොදැමීම; නොකැපීම; ඡේදනය නොකිරීම.

අච්ඡේද්‍ය

වි. සිඳලිය නොහැකි; වෙන් කළ නොහැකි; කැඩිය නොහැකි.

අච්ඡේද්‍ය පටලය

(පාරිභා.) නා. අක්ෂි ගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටස; ශුක්ල මණ්ඩලය; කූණිතය; ස්වච්ඡය (=cornea).

අච්‍යුති

වි. විනාශයෙන් තොර; නොනැසෙන.

අචිත්තජ

වි. සිතින් හට ගැනීමක් නැති; සිතින් නූපදවන.

අචිත්තීකෘත

වි. ගරු බුහුමන් නොලද; අගය කොට නොසලකන ලද; විසිතුරු නොකළ.

අචින්තක

වි. සිත් රහිත; සිතක් නැති; චිත්ත විරහිත.
නා.ප්‍ර. සිතිවිලි රහිත භාවය; හැඟීමක් නොමැති වීම.

අචින්ත්‍ය

වි. නොසිතිය යුතු; සිතාගත නොහැකි; චින්තනයට විෂය නොවන.

අචින්තෙය්‍ය

වි. සිතා ගත නොහැකි; සිතා වටහා ගත නොහැකි.

අචින්තෙය්‍යරූපී

නා.ප්‍ර. සිතා නිම කළ නොහැකි විසිතුරු රූපයකින් යුතු තැනැත්තා; බුදුරජාණන් වහන්සේ.

අචිර

වි. වැඩිකල් නොපවතින; කෙටි කාලයක දී සිදු වන; වැඩි කල් නොවන.

අචිර කාලය

නා. කෙටි කාලය; මඳ කාලය.

අචිර ශාකය

(පාරිභා.) නා. ඉතා කෙටි කාලයක දී සම්පූර්ණ ජීවන චක්‍රය අවසාන කරන ශාකය (= ephemeral plant).

අචිරද්‍යෝතය

නා. විදුලිය; අකුණු එළිය; විදුලි එළිය; ක්ෂණික ආලෝකය.

අචේතන

වි. චේතනා රහිත; සිතුවිලි නැති; සිතින් දැක ගැනීමක් නැති; අප්‍රාණික.

අචේතනයා

නා. චේතනා රහිත තැනැත්තා; සිතුවිල්ලෙන් තොර තැනැත්තා.

අචේතසික

1. වි. සිතුවිලි නැති; චේතනා රහිත.
2. වි. ස්වේච්ඡාවෙන් ක්‍රියා නොකරන; කැමැත්ත අනුව පාලනය නොවන; අනිච්ඡානුග.

අචේල

වි. රෙදිපිළි නොඅඳින; නිර්වස්ත්‍ර; නග්න.

අචේලකයා

නා. නිර්වස්ත්‍ර ව තපස් රකින්නා; නිගණ්ඨ තාපසයා.

අජ

වි. ඉපදීමක් නැති; නූපන්.
1. නා. එළුවා.
2. (ජ්‍යෝති.) නා. දොළොස් රාශියෙන් ප්‍රථම රාශිය; මේෂ රාශිය.
3. (ජ්‍යෝති.) නා. නැකැත් විසිහතෙන් එකක්; පුවපුටුප නැකත.
4. නා. බ්‍රහ්මයා.
5. නා. ඊශ්වරයා.
6. නා. විෂ්ණු.

අජ පථය

නා. එළුවන්ට පමණක් ගමන් කළ හැකි මාර්ගය; උස් වූ ගිරි මුදුන් ආදියෙහි නැගී යන දුෂ්කර මඟ.