සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 322

උපඝාතනය

නා. ඝාතනය කිරීම; වැනසීම; හානිය; පීඩාව.

උපඝාතය

1. නා. පහර දීම; හිරිහැර කිරීම; වෙහෙසීම; හිංසාව; උපද්‍රවය.
2. නා. නැති කිරීම: විනාශය; නිවාරණය.
3. නා. රෝගී වීම; කොර වීම.
4. (වාග්වි.) නා. අකුරු බර කොට උච්චාරණය කිරීම; ස්වරාඝාතය (=accent).

උපචක්‍රය

(පාරිභා.) නා. අප්‍රධාන චක්‍රය; හරියට ම චක්‍රයක් නොවූව (=sub-cycle).

උපචය

1. නා.ප්‍ර. රැස් කිරීම; රාශිකරණය; ගොඩ ගැසීම; සමූහය.
2. නා.ප්‍ර. වැඩීම; වර්ධනය; පුෂ්ටිමත් කිරීම.

උපචරණය

නා. යම්කිසි වස්තුවක ස්වභාවයක් අන්‍ය වස්තුවකට ආරෝපණය කොට සිතීම හෝ කීම; උපචාර කිරීම.

උපචර්මය

නා. යටි හම; අධඃචර්මය.

උපචරිත

වි. යම්කිසි වස්තුවක ස්වභාවයක් අන්‍ය වස්තුවකට ආරෝපණය කොට කියූ; උපචාර වශයෙන් අවබෝධ කරවූ.

උපච්ඡායාව

නා. ඡායාවක් වටා ඇති මඳක් ආලෝකවත් ප්‍රදේශය; චන්ද්‍රග්‍රහණයේ දී සඳ වට කොට වැටෙනුයේ උපච්ඡායාවකි.

උපච්ඡින්න

වි. සිඳින ලද; නැසුණු; නිරුද්ධ වූ.

උපච්ඡේදක

1. වි. සිඳලන; වනසා දමන.
2. වි. සිඳලීම නවතාලන.

උපච්ඡේදය

නා. සිඳීම; නැසීම; විනාශය.

උපචාරය

1. නා. ළං ව හැසිරීම; සමීපචාරය; පැවැත්ම.
2. නා. සමීපය; (විනය) දොළොස් රියනක් ඇතුළත ප්‍රදේශය.
3. නා. යම් ස්වභාවයක් එය නැති වස්තුවක ඇති කොට (ආරෝපණය කොට ) සිතා ගැනීම.
4. නා. පුජාව; ගරු බුහුමන; උපහාරය; හරසර.
5. (වෛද්‍ය.) නා. ප්‍රතිකාරය; පිළියම.

උපචිත

වි. රැස් කරන ලද; ගොඩ ගැසූ.

උපජන්‍යමාන

වි. උපදවනු ලබන; ජනිත කරනු ලබන; හට ගැන්වෙන.

උපජ්ඣාය

නා.ප්‍ර. උපාධ්‍යාය.

උපජාත

වි. උපන්.

උපජීවනය

නා. (යමක් ඇසුරු කොට) ජීවත් වීම; ජීවිකා වෘත්තිය.

උපජීවී

වි. යමක් ඇසුරින් හෝ ආධාරයෙන් ජීවත් වන.

උපට්ඨානය

1. නා. එළඹ සිටීම; ළඟට ගොස් සිටීම.
2. නා. ආවතේව කිරීම; උවටැන් කිරීම; උපස්ථානය.
3. නා. සිහිය; සතිය.

උපට්ඨායකයා

නා. ආවතේව කරන්නා; උවටැන් කරන්නා; උපස්ථායකයා.

උපත

නා. ඉපදීම; බිහිවීම; ඇතිවීම; හටගැනීම; උත්පත්තිය.

උපත්ථම්භක

වි. අනුබල දෙන; රුකුල් දෙන.

උපතාපනය

නා. (කෙලෙස්) තැවීම; පෙළීම.

උපතුෂ

(පාරිභා.) නා.ප්‍ර. ධාන්‍ය හා තෘණ ශාකවල මල්වල රේණු හා ඡායාංගය වසාගෙන ඇති ඇතුළත පිහිටි කුඩා නිපත්‍රය.

උපදංශය

1. නා. ආහාරපාන ගන්නා විට රුචිය වැඩි කිරීම පිණිස අමතර වශයෙන් ගන්නා කෑම; අවුළුපත්; කටගැස්ම.
2. නා. ඉතා දරුණු බෝවන කාම රෝගයක්.