සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 323

උපද්‍රවය

නා. අනතුර; විපත; පීඩාව; ව්‍යසනය.

උපද්‍රැත

වි. අනතුරට හෙවත් විපත්තියට පත්; පීඩා ලත්; පීඩිත.

උපදිෂ්ට

වි. දක්වන ලද; කියූ.

උපදෙස

1. නා. යමක් කළ යුතු පිළිවෙළ කියා දීම; ගුරුහරුකම.
2. නා. උපාය; උපක්‍රමය.

උපදේශනය

නා. උපදෙස් දීම; ශික්ෂාව.

උපදේශය

නා. අනුශාසනය; අවවාදය.

උපධාතු

නා.ප්‍ර.බහු. ශරීරයේ ප්‍රධාන ධාතුවලට හා අවයවවලට දෙවැනි වූ ධාතු; කිරි, ඔසප් ලේ, ඩහදිය, දත්, කෙස් හා ඕජස් යන දෑ.

උපධානය

1. නා. කොට්ටය.
2. (පාරිභා.) නා. පත්‍රයක හෝ පත්‍රිකාවක පාදයෙහි තිබෙන මෙට්ටයක් වැනි මහත් වූ කොටස (=pulvinus ).

උපධාරණය

1. නා. දැරීම; පිහිට; ප්‍රතිෂ්ඨාව.
2. නා. මනා කොට සිතීම; මෙනෙහි කිරීම.

උපධි

1. නා.ප්‍ර. (අභි.) සංසාරයෙහි සත්ත්වයින් දරා සිටීමට ආධාර වූ කාම, ස්කන්ධ, ක්ලේශ හා අභිසංස්කාර යන ධර්ම හතර.
2. නා.ප්‍ර. ශරීරය; රූප සම්පත්තිය.
3. නා.ප්‍ර. රනින් කළ පාවහන්; රන් මිරිවැඩි.

උපධි සම්පත්තිය

නා. රූපශෝභාව ආශ්‍රිත සම්පත්තිය; රූපශ්‍රීයෙන් යුක්ත වීම.

උපධිසඞ්ඛය

නා.ප්‍ර. සිව්වැදෑරුම් උපධීන් නැසීම; උපධි විවේකය; නිර්වාණය.

උපනගරය

1. නා. නගර සමීපය.
2. නා. ප්‍රධාන නගර සමීපයේ පිහිටි කුඩා නගරය; දෙවෙනි නගරය.

උපනත

වි. ඇතුළට නැමුණු; ප්‍රවිෂ්ට වුණ; අන්තර්ගත; (හද) තුළට පිවිසි.

උපනතිය

නා. එක්තරා අතකට නැමීම හෝ නැමී පැවැත්ම; නැඹුරු වීම.

උපනය

නා.ප්‍ර. පැමිණවීම; එළවීම.

උපනයනය

1. නා. අධ්‍යයනය සඳහා බාලයන් යථාවිධීන් ගුරුන් සමීපයට පැමිණවීම; වේදාධ්‍යයනය ප්‍රවේශ කිරීම.
2. නා. බ්‍රාහ්මණාදින් පලඳින ශුද්ධ නූල; පූන නූල.

උපන් ලපය

නා. උපතෙහි පටන් ම කෙනෙකුගේ ශරීරයේ දක්නට ලැබෙන කැළැල හෙවත් ලපය.

උපන්‍යස්ත

වි. ඉදිරිපත් කළ; සඳහන් කළ; දැක් වූ.

උපන්‍යාසය

1. නා. ළං කොට තැබීම.
2. නා. වාක්‍යාරම්භය; වාක්‍යයේ පටන් ගැන්ම.
3. නා. මාතෘකාව; ශීර්ෂපාඨය. සංඥාපනය; ප්‍රස්තාවනාව; ආමුඛය; ප්‍රාරම්භ කථාව.

උපනාමය

නා. ප්‍රධාන නාමයට දෙවන වූ නාමය; විරුද නාමය; අන්‍ය නාමය.

උපනාහය

1. නා. තදින් බැඳගත් ක්‍රෝධය; බද්ධ වෛරය.
2. නා. තුවාලයට හෝ වණයකට ආලේප කරන බෙහෙත්; කල්කය; පැලැස්තරය.
3. නා. බෙහෙත් කල්ක ආලේප කිරීම.

උපනිඃක්ෂේප

නා. (සමීපයෙහි තැන්පත් කිරීම) යමක් හා ආශ්‍රයෙන් හෝ යමක් හා සම්බන්ධයෙන් සිහි වීම.