සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 324

උපනිධානය

(පාරිභා.) නා. (නීති.) භාරකාරීත්වය පවරා බඩු බාරදීම; සිරකරුවකු ඇප දී ගැනීම (=bailment).

උපනිධි

නා.ප්‍ර. වස්තු හිමියා ආරක්ෂාව පිණිස අන් අයකු ළඟ තැබූ වස්තුව.

උපනිබන්ධනය

නා. බැඳීම; බැඳ තැබීම; (අරමුණක් කෙරෙහි සිත) රැඳවීම.

උපනිවර්තන

වි. නිවර්තන ප්‍රදේශ මායිම් කොට හෝ ඊට ඉතා ආසන්න ව පිහිටි.

උපනිවේශය

නා. පිරිසක් පිටරටක පදිංචි වී ස්වකීය මව් රටේ ආධිපත්‍යයට යටත් ව එහි ඇති කර ගන්නා නව වාසභූමිය; යටත් ප්‍රදේශය.

උපනිශ්‍රය

1. නා.ප්‍ර. බලවත් හේතුව; හේතු වාසනාව; හේතු සම්පත්තිය.
2. නා.ප්‍ර. ආශ්‍රය; ඇසුර.

උපනිශ්‍රයප්‍රත්‍යය

නා.ප්‍ර. (අභි.) ධර්මයන්ගේ ඉපදීමට හා පැවැත්මට බලවත් කාරණ වශයෙන් උපකාර වන දෙය.

උපනිෂත්

නා.ප්‍ර. සංස්කෘතයෙන් ඇති ලියවී පැරණි දාර්ශනික ග්‍රන්ථ ගණයක නාමය; වේදාන්ත දර්ශනයේ මූල ග්‍රන්ථ.

උපනිස්සය

නා.ප්‍ර. බලවත් හේතුව; මගඵල ලැබීමට ඇති හේතු සම්පත්තිය.

උපනිසින්නක

වි. ළඟ හෝ පසෙකින් වාඩි වූ හුන්.

උපනීත

වි. ළඟට පමුණුවන ලද; පිළිගැන්වූ.

උපනුවා

1. නා. උපන් තැනැත්තා.
2. නා. උපන් දෙය; පහළ වූ දෙය; උපන් ධනධාන්‍යාදිය.

උපනේත්‍රය

1. නා. ඇස් කණ්ණාඩිය; උපැස් යුවළ; උපනෙත.
2. නා. ටෙලස්කෝපයක ඇස තබා බලන තැන ඇති ලෙන්සය.

උපනේය

වි. සමීපයට පැමිණ විය යුතු; වෙත ඉදිරිපත් කළ යුතු.

උපපජ්ජවේදනීය කර්මය

නා. (අභි.) මරණින් මතු ඊළඟ භවයේ දී විපාක විඳිය යුතු වූ කර්මය; අනන්තර භවයේ දී ම විපාක දෙන කර්මය; උපපද්‍යවේද්‍ය කර්මය.

උපපත්ති

නා.ප්‍ර. ප්‍රතිසන්ධි වශයෙන් පැමිණීම; නැවත ඉපදීම; ළඟට පැමිණීම.

උපපත්‍රය

නා. (උද්භි.) පත්‍ර වෘන්තයක හෙවත් කොළ නටුවක පාදයෙන් නැගී ආ සාමාන්‍යයෙන් පත්‍රයක හැඩය ඇති උපාංග දෙකින් එකක්.

උපපත්‍රිකාව

(පාරිභා.) නා. චැක්පත්, කුවිතාන්සි ආදිය නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව කෙටි සටහනක් ලියා ඉතිරි කරගනු ලබන කොටස; පිළිපත; උපපත.

උපපතියා

නා. සොර සැමියා; ජාරයා.

උපපදය

1. නා. දෙවන හෝ අප්‍රධාන වචනය; ප්‍රධාන වචනයේ ඇති අදහස සීමා කරන එහෙත් ප්‍රධාන වචනයට සමීප දෙවන වචනය.
2. නා. විශේෂයෙන් සංඥා නාමයකට පෙර යෙදෙන විශේෂ නාමය.

උපපන්න

වි. ඇති වූ; හටගත්; උපන් පැමිණි; පිළිගත් ක්‍රමයට අනුකූල වූ.

උපපරීක්ෂණය

නා. විමසා බැලීම.

උපප්ලවය

1. නා. පීඩාව; උපද්‍රවය.
2. නා. කැලඹීම.

උපප්‍රධානයා

නා. ප්‍රධානයා ළඟට සිටින තැනැත්තා; දෙවන ප්‍රධානයා.